26 C
Colombo
සෙනසුරාදා, සැප්තැම්බර් 30, 2023

සල්ලි අච්චු ගසා ආර්ථික අර්බුද මැද්දේ ඡන්දයක් තැබුවොත් ලෝක වාර්තාවක් – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Must read

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මැතිවරණයක් පැවැත්වුව හොත්, එය ලෝක වාර්තාවක් විය හැකි බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට නම් මුදල් මුද්‍රණය කළ යුතු බැවින් එලෙස මුදල් මුද්‍රණය කර මැතිවරණයක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් පිහිටුවීමට හැකි වනු ඇතැයි ද හෙතෙම කීවේය. එළැඹෙන මැතිවරණය නිශ්චිතවම පවත්වන්නේද? නැතිද? යන්න පිළිබඳව මාධ්‍ය මඟින් රාජ්‍ය ඇමැතිවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේය.

2022 වසරේ රුපියල් බිලියන 2500ක මුදල් මුද්‍රණය කර රජයේ වියදම් පියවාගත් බව රහසක් නොවන බව කී ඒ මහතා, මුදල් මුද්‍රණය කළත් උද්ධමනය වැඩි වීමට එය බලපෑමක් නොවූයේ ඒ මුදල් එදිනෙදා වියදම් සඳහා වැය නොකර මූල්‍ය කළමනාකරණයක් කිරීම නිසා බවද කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා:

“මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම අපට දෙයාකාරයකින් විමසා බැලීමට සිදු වන කටයුත්තක්. පළමුව නම් වසර 2022 ඉතා අමාරුවෙන් ආර්ථික අපහසුතා මැද රට යම් ඉදිරි ගමනක් ආරම්භ කිරීමට කටයුතු කළා පමණි. ඉන් අනතුරුව එළැඹි වසර සුබවාදිව ආර්ථිකය හැසිරවීමට සැලසුම් කළා පමණි. එවන් මොහොතක නැවත මැතිවරණයකට යෑම ගොඩනැඟීමට උත්සාහ ගත් සියලු උත්සාහයන් ප්‍රමාදයන් බවට පත් කිරීමට හේතු විය හැකියි. එදිනෙදා තෙල් පෝලිමේ නොසිට, ඉහළ යන ජීවන වියදම හමුවේ බරපතළ අර්බුදයකට මුහුණ දී නොසිට යාන්තම් සුබවාදි ගමනක් ගොඩනඟාගත්තා පමණයි. එය නැවත මුළුමනින්ම අකර්මණ්‍ය වීමට මැතිවරණය පැවැත්වීම බලපානවා ඇති. ආර්ථික වශයෙන් ගත් කල අප සිටින්නේ මැතිවරණයක් පැවැත්වීමට මුදල් වියදම් කළ හැකි වාතාවරණයක නොවේ. උදාහරණයක් ලෙස මේ වසරේ 1 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළ රජයේ එදිනෙදා වියදම් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයක රුපියල් බිලියන 80ක මුදලක් අවශ්‍යයි. මේ දින 12 තුළ මහා භාණ්ඩගාරයට ලැබෙනුයේ රුපියල් බිලියන 26ක මුදලක් පමණයි. ඉතිරි රුපියල් බිලියන 54 අප සොයා ගත යුතුයි. රුපියල් බිලියන 80ක වියදමින් සිදු කරන කටයුතු ලෙස විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි සහනාධාරය ගෙවීම, පොහොර සහනාධාරය ගෙවීම මෙන්ම අලුතින් රාජ්‍ය සේවයට එක්වූ 50,000ක් වන තරුණ තරුණියන්ට වැටුප් ගෙවීම වැනි කිසිදා පැහැරහැරිය නොහැකි වියදම් ලෙස ගත හැකියි. එවන් මොහොතක මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ හොත් අපට ලෝක වාර්තාවක් තැබීමටත් පුළුවන්. ඒ තමයි දැවැන්ත ආර්ථික අසීරුතා මැද මුදල් මුද්‍රණය කොට මැතිවරණයක් පැවැත්වූ රටක් ලෙස ලෝක වාර්තාවක් තැබීම“ යැයි ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

More articles

Latest article