29 C
Colombo
සඳුදා, මාර්තු 27, 2023

එජාපය සහ පොදු ජන පෙරමුණ එක්ව පළාත් පාලන ඡන්දයට

Must read

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සහ පොදු ජන පෙරමුණ එක්ව පළාත් පාලන ආයතනවලට තරග වදින බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පක්ෂ දෙකේ ඉහළ පෙළේ නිලධාරීන් අතර ඊයේ (08) කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව රංගේ බණ්ඩාර මහතා දිනමිණට මේ බව සඳහන් කළේය.

සමහර පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින්ද සමහර ආයතන සඳහා පොහොට්ටුව ලකුණින්ද පක්ෂ දෙක එක්ව තරග කරන බව කී ඒ මහතා තවත් ආයතන කිහිපයකට පොදු ලකුණකින් තරග කරන බවත් සඳහන් කළේය.

පොදු ලකුණ, පොහොට්ටුව සහ අලියා ලකුණු මඟින් තරග කරන ආයතන සහ පොදු ලකුණින් තරග කරන ආයතන සම්බන්ධයෙන් හෙට (10) පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බවත් රංගේ බණ්ඩාර මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ රවි කරුණානායක මහත්වරුන්ද පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඊයේ පැවති සාකච්ඡාවට එක් වී සිටියහ.

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය මෙම 15දා දක්වා අයදුම්පත් කැඳවා ඇති අතර, පොහොට්ටුවද අපේක්ෂකයින් තේරීම සිදු කරමින් පවතී.

වඩාත් තරගකාරීව සහ සැඟවුණු අයට අවස්ථා ලබා දීමේ අපේක්ෂාව ඇතිව ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින්, එක්සත් ජාතික පක්ෂය ආසන සංවිධායකයන් පමණක් නොව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස මට්ටමේ සංවිධායකවරුන්ද පත් කිරීම උදෙසා පසුගිය කළමනාකරණ කමිටුවේ දී පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් පරිදි ඒ වෙනුවෙන් අයදුම්පත් කැඳවා, සම්මුඛ පරීක්ෂණ කරමින්, ඔවුන් පත් කිරීමට පියවර ගන්නා බවත් උගත් බුද්ධිමත් සමාජශීලි, ප්‍රතිපත්තිගරුක පිරිසක් පළාත් පාලන ආයතන වෙත යැවීමට කටයුතු කරන බවත් එජාප මහ ලේකම්වරයා කීය.

More articles

Latest article