26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

සමාජ හා ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන පරිශ්‍රමයට එක්සත් රාජධානියේ පූර්ණ සහාය

Must read

සමාජ හා ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන පරිශ්‍රමය සඳහා පූර්ණ සහාය දෙන බවට එක්සත් රාජධානියේ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) නිත්‍ය උප ලේකම් ශ්‍රීමත් පිලිප් බාර්ටන් මහතා ප්‍රකාශ කරයි.

මෙරටට පැමිණි උප ලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ ලේකම් අරුණි විජයවර්ධන මහත්මිය සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කළේය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජයවර්ධන මහත්මිය සහ එක්සත් රාජධානියේ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) නිත්‍ය උප ලේකම් ශ්‍රීමත් පිලිප් බාර්ටන් මහතා විදේශ අමාත්‍යංශයේදී සාකච්ඡා පැවැත්වූ අතර, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරෙන 75 වැනි වසර මධ්‍යයේ මේ ඵලදායි ද්විපාර්ශ්වික සාකච්ඡාව පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙහිදී සිය අදහස් පළ කළ විදේශ කටයුතු ලේකම් විජයවර්ධන මහත්මිය, මෙරට වත්මන් වර්ධනයන් සහ 2023 වසර සමාජ-ආර්ථික ස්ථාවරත්වය, ප්‍රතිසන්ධානය සහ ප්‍රකෘතිමත්භාවය සාක්ෂාත් කරගැනීමේ වසරක් ලෙස හඳුනාගනිමින් රජය විසින් සිදුකල සැලසුම් පිළිබඳව එක්සත් රාජධානියේ නිත්‍ය උප ලේකම්වරයා දැනුම්වත් කළා ය. ශ්‍රී ලංකාව දරන පරිශ්‍රමයන් දිරිමත් කළ නිත්‍ය උප ලේකම් බාර්ටන් මහතා, මේ සඳහා එක්සත් රාජධානියේ සහයෝගය දෙන බව යළි අවධාරණය කළේය.

ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ ආර්ථික වර්ධනය කෙරෙහි ශ්‍රී ලංකාව දී ඇති ප්‍රමුඛතාව කෙරෙහි අවධානය යොමු කළ විදේශ කටයුතු ලේකම්වරිය, එක්සත් රාජධානියේ වෙළඳපොළට අවතීර්ණ වීම සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් සලසන්නා වූ, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ මෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සහ පුහුණු ශ්‍රමිකයන් සංක්‍රමණය ආදී අනෙකුත් අංශ සඳහා එක්සත් රාජධානිය දෙන දායකත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සමඟ ශ්‍රී ලංකාව පවත්වන ආර්ථික හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළා ය.

දේශගුණික විපර්යාස පිළිබඳ අරමුණුවලට ප්‍රතිචාර දැක්වීම සහ 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තිය 70%කින් සාක්ෂාත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු ඉලක්කය සාක්ෂාත් කරගැනීම ඇතුළුව වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ ශක්‍යතාව දෙපාර්ශ්වයේ ඇගයුමට ලක් විය. වත්මන් බහුවිධ නිරත වීම් ඉහළ නැංවීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ප්‍රතිඵල සහිත ප්‍රවේශයක් තුළින් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කිරීමේ අරමුණින්, 2023 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සංවාදයක් ආරම්භ කිරීම සඳහා දෙපාර්ශ්වය සතු අන්‍යෝන්‍ය උනන්දුව මෙහිදී අවධාරණය කෙරිණි.

එක්සත් රාජධානියේ වෙසෙන, ශ්‍රී ලාංකික උරුමයක් සහිත ප්‍රජාව තුළින් ඉස්මතු වන විචිත්‍රවත් පුද්ගලාන්තර සබඳතා විදේශ කටයුතු ලේකම් විජයවර්ධන මහත්මියගේ සහ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ නිත්‍ය උප ලේකම්වරයාගේ පැසසුමට ලක් විය.

නිත්‍ය උප ලේකම් ශ්‍රීමත් බාටන් මහතා මේ සංචාරය අතරතුර විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහත්වරුන්ද හමු විය. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහ එක්සත් රාජධානියේ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ නිලධාරීහුද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම හමුවට එක් වූහ.

More articles

Latest article