29 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

මම පාඨලී ඇමැතිතුමාට තුන්පාරක් වැඳලා ඉල්ලුවා පුතාව හොඳ කරලා දෙන්න කියලා – සන්දීප්ගේ පියා අධිකරණයේදී කියයි

Must read

අධික වේගයෙන් රිය පදවා තරුණයකුට බරපතළ තුවාල සිදු කළ සිද්ධියේ බොරු සාක්ෂි ගෙතීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර ඇතුළු තිදෙනාට එරෙහි නඩුවේ විත්තියේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය විනිසුරු දමිත් තොටවත්ත මහතා විත්තිකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කරන ලෙසට ඊයේ (02) නියෝග කළේය.

කිසියම් පාර්ශ්වයකට අයුක්තියක් අසාධාරණයක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමේ බලය අධිකරණයක් සතුව පවතින බැවින්, මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවත් නඩුව විභාගයට ගන්නා බවත් විනිසුරුවරයා දන්වා සිටියේය.

විනිසුරුවරයාගේ නියෝගය පරිදි රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට අධිකරණ තොල්කමුදලි විසින් අධි චෝදනා කියවා දුන් අතර විත්තිකරුන් එම සියලු චෝදනාවන්ට නිවැරදිකරුවන් යැයි විත්තිකූඩුවේ සිට සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයක් පවත්වා රථයේ රියදුරු ලෙස තමන් කටයුතු කළේය යැයි මෙම නඩුවේ දෙවැනි විත්තිකරු පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය මගින් දඩුවම් නියම කර ඇතත් එම නඩුවේ මූලාශ්‍ර වලට අගති රහිතව මෙම අධි චෝදනා නඩුව විභාග කළ හැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා පහළ අධිකරණ තීන්දුව ඉවත් කිරීම හෝ බල රහිත කිරීම අවශ්‍ය නොවන බව පෙන්වා දුන්නේය. පහළ අධිකරණයේ දඩුවම් නියම කර ඇත්තේ සාක්ෂි විභාගයක් පවත්වා සිදුකළ නඩු විභාගයකින් නොවන බව පෙන්වා දුන් විනිසුරුවරයා නඩුවට පාදක වනුයේ එකම රිය අනතුර වුවත් විමර්ශනවලදී පැනනැගි තත්වයන් අනුව මෙම අධි චෝදනා ගොනු කර ඇති බව පෙන්වා දුන්නේය.

පහළ අධිකරණ කටයුත්තකදී නඩුවේ දෙවැනි විත්තිකරු වරද පිළිගෙන ඇති හෙයින් එම දඩුවම් දීම එලෙසම තිබයදී මෙම අධි චෝදනා නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය මගින් මීට පෙර දින මූලික විරෝධතාවක් මතුකළ අතර එම විරෝධතාව ප්‍රතික්ෂේපකරමින් විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.

මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා ඊයේ දිනයේ අධිකරණයට කරුනු ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළේය.

මේ නඩුකරය රිය අනතුරක් සම්බන්ධයෙන් උද්ගත නඩුවක් නොව නීතියේ ආදිපත්‍ය සම්බන්ධයෙන් සුවිශේෂි නඩුවක් ලෙස ගත හැකියි. මේ සිද්ධි මාලාවට බඳුන් වන්නේ කුමන පුද්ගලයන්ද මෙවැනි පුද්ගලයන් යුක්තියේ දෙවඟන තම කඩතුරාව යටින් තමන් දෙස බලනවාට කැමිති අය. එසේ බැලුවේ නැත්තම් යුක්තියේ දෙවඟනගේ කඩුව ඉවත දමලා, තරාදිය පැත්තකට දමලා, අත්දෙක පිටුපසට තියලා බැඳලා කඩතුරාව ගලවලා බලව ගන්න සුදානම් අයත් ඉන්නවා. මේ නඩුව සිවිල් පුරවැසියනුත් රාජ්‍ය නිලධාරිනුත් අතර පවතින්නක්, සිවිල් පුරවැසියනුත් පක්ෂ නායකනුත් අතර පවතින්නක්, රජයේ නිලධාරිනුත් වසර පහකුත් මාස දහයක් තිස්සේ රෝද පුටුවකින් ඇවිත් යුක්තිය අයදින පුද්ගලයන් අතර පවතින්නක්. රටක් වශයෙන් අපි මේ පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීමේ හුයෙන් බැඳී ඉන්නවා. ස්වාමිනි මේ අනතුර වෙනවා. රියැදුරු පැති විදුරුව ඇරලා තප්පර කීපයක් බලලා පලා යනවා. මිනිසුන් වශයෙන් අපි මානුෂීය විය යුතුයි. ස්ථානයෙන් පළා යන්නේ කවුද ඇමැතිවරයෙක්, දෙවැනි චුදිත පොලිසියට එනවා, වරද පිළිගන්නවා. මේක හරියට ගමේ කසිප්පු මුදලාලිව ඇල්ලුවම මුදලාලි වෙනුවට ගෝලයෙක් ඉදිරිපත් වෙනවා වගේ. තම නිල බලය යොදාගෙන බොරු සාක්ෂි ගොතනවා. මේ වාහනය රජයේ දේපළක් ඊට වන අනර්ථයට නඩු නැ. මේ විරෝධතාව නීතිය ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් දුෂණය ට ලක්කිරීම සම්බන්ධවයි. විත්තියේ විරෝධතාවලට නීතිමය පදනමක් නැ. මේක එක නඩුවක් නෙවෙයි නඩු දෙකක්. මේ අනුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා විසින් පැමිණිල්ලට අවසර දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුදුන් සාක්ෂිකාර දයානන්ද ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.

මේ රිය අනතුරුට ලක්වුයේ මගේ එකම දරුවා. රාත්‍රි දහයට විතර අනතුර සම්බන්ධයෙන් පණිවිඩය ලැබුණා. පුතා රෝඩ් ෂෝ එකකට ගියා කියලා. බිරිය මට කිවුවා. අපි කොළඹ ජාතික රොහලට ආවා. අසාධ්‍ය තත්වයේ සිටි නිසා දරුවාව බලන්න ලැබුනේ නැ. දවස් අටක් අයි සී යූ එකේ හිටියා පසුව 72 වාට්ටුවට දැම්මා. මාස කීපයකට පසුව රාගම පුනරුත්ථාපන රෝහලට මාරු කළා පුතාට කෑම දුන්නේ ශරිරයට සවිකළ පුනීලයකින්. දරුවාට ඇවිදින්න බෑ. අත්වල ඔපරේෂන් එකක් කරන්න තිබුණා. අදටත් දරුවාට ඇවිදින්න බැ. හරියට මතකයක් නෑ. අතේ වාරුවක් නෑ. අවුරුදු පහයි මාස අටක් ගියත් ස්වාධීනව වැඩක් කරගන්න බෑ. පුතා වැඩකළ ආයතනය අදටත් රුපියල් 15,300ක වැටුපක් පුතාට ගෙවනවා. ඇක්සිඩන්ට් වුනා කියලා එදා දුන්නු වැටුප අඩු කළේ නැ. දැන් මාස තුනකට රුපියල් 18,900ක බෙහෙත් අවශ්‍ය වෙනවා. මම රැකියාවක් කරන්නෙ නෑ. අවුරුදු 16ක් මැද පෙරදිග සේවය කරලා තිබෙනවා. අදටත් මට උදවු කරනනේ ඒ යාළුවෝ. අනතුරෙන් පසුව දින දෙකකට පසුව වැලිකඩ පොලිසියට ආවා. පැමිණිල්ලක් දාන්න. දරුවාගේ අසාධ්‍ය තත්වය නිසා පොලිසියකට එන්න බැරි වුනා. වැලිකඩ පොලිසියේ නිලධාරිණියක් කිවුවා, මෙම රිය අනතුර සම්බන්ධයෙන් රියදුරු වරද පිළිගෙන ඇප නියම කර තිබෙනවා කියලා. පැමිණිල්ල ලියා ගත්තේ නැ. අපිට ලොකු මහත්තයා හමුවෙන්න කිවුවා. දවල්ට පුතා බලන්න තිබෙන නිසා ස්ථානාධිපති එනතුරු නොසිට ආපසු ගියා. පසුව පුතාගෙන් කටඋත්තර ගන්න පොලිස් නිලධාරින් ආවා. ඒ කවුද කියලා මම දන්නේ නෑ. පුතාට කතා කරන්න බෑ. සමහර අවස්ථාවලදී ප්‍රශ්නත් ඇතිවුනා. නස්ලට දොස්තරලට නොදන්වා ඇවිල්ලා. පසු දිනක සිවිල් පොලිස් නිලධාරීන්ද ආවා. ඒ අය පාදුක්ක පොලිසියේ කිවුවා. මම දන්නේ නෑ කවුද කියලා. සිද්ධියෙන් දවස් හතරකට පසුව ගයාෂාන් කියලා පුතාගේ යාළුවෙක් හමුවුනා. ඔහු සිද්ධිය ඇසින් දුටු අයෙක් ඒ අය පැමිණිල්ලක් දාලා තිබුණා. මම ජනාධිපතිට අගමැතිට අපිට වූ අසාධාරණය ලිවුවා. අවුරුදු තුනකට පසුව ආණ්ඩු මාරුවෙන් පසුව අපිට කටඋත්තරයක් ගන්න වැලිකඩ පොලිසියට කැඳෙවුවා.

මම පළමු විත්තිකාර හිටපු ඇමැති පාඨලි ඇමැතිතුමාව තුන්පාරක් හමුවුණා. මම මැදපෙරදිග ඉන්නකොට එතුමාව බලයට ගේන්න කටයුතු කළ අයෙක්. මම එතුමාගෙන් වැඳලා ඉල්ලුවා මගේ පුතාව නැගිට්ටවලා දෙන්න කියලා. මාව එතුමා ගාවට රැගෙන ගියේ ධනුෂ්ක රාමනායක කියන අය. එතුමා මට ලොකු නඩු පිටපත් පෙන්නලා නඩු තියෙනවා කිවුවා. දරුවා පිටරටකට ගෙනිහින් හරි ප්‍රතිකාර කරන්න කිවුවම ඒවා දොස්තරවරු බලා ගනියි කිව්වා. මට, හිටපු ජනපති මෛත්‍රි මහතා රුපියල් ලක්ෂ දහයක පරිත්‍යාගයක් කළා. ඒ මහතා විතරයි උපකාර කළේ.

2016 පෙබරවාරි මස 28‍ හෝ ඊට ආසන්න දිනකදී රාජගිරිය ජනාධිපති විද්‍යාල මංසන්ධිය ආසන්නයේදී අධික වේගයෙන් හා අපරික්ෂාකාරීව රිය පදවා තරුණයකුට බරපතළ තුවාල සිදුවන ආකාරයේ අනතුරක්කර පලායෑම සම්බන්ධ රිය අනතුරේ සාක්ෂි වසන්කර බොරු සාක්ෂි ගෙතීම, බොරු සාක්ෂි ගෙතීමට අධාර අනුබල දීම, පාඨලි චම්පික මහතා වෙනුවට වෙනත් රියදුරකු ඉදිරිපත් කිරීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ 190, 198 , 200, 215 යන වගන්ති යටතේ දඩුවම් ලැබිය හැකි වරදවල් සිදු කිරීම යන අධි චෝදනා 16ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස අනතුර සිදු කළ ජීප් රථය පැදවූ පුද්ගලයා ලෙසට ව්‍යාජව ඉදිරිපත් වූයේ යැයි කියන දිලුම් තුසිත කුමාර හා පාඨලී චම්පික රණවක මහතාව නීත්‍යනුකූල දඬුවම්වලින් බේරා ගැනීමේ චේතනාවෙන් කටයුතු කර වැරදි තොරතුරු ඉදිරිපත් කළේ යැයි කියන වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන පුද්ගලයන් නම් කර ඇත.

පළමු විත්තිකාර පාඨලි චම්පික රණවක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න හා සුදත් අස්මඩල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා මුලික විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළේය.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින අනතුරට ලක්ව බරපතළ තුවාල ලැබු සන්දීප් සම්පත් ගුණවර්ධන රෝද පුටුවකින් අධිකරණයට පැමිණ සිටියේය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහත්වරු පෙනී සිටියහ.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි11 දිනට නියම කෙරිණි.

More articles

Latest article