25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ආබාධිත තරුණ තරුණියන්ට පළමුවරට දෙමළ මාධ්‍ය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්

Must read

සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධිත තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔප්නැංවීම සදහා ආරම්භකර ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි 09 වැන්න ලෙස නැගෙනහිර පළාතේ වාලච්චේනෛ මුල්කරගෙන ස්ථාපිත වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

වාලච්චේනෛ පිහිටවූ මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධිත දමිළ තරුණ තරුණියන් සදහා ආරම්භ කළ පළමු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ලෙස ඉතිහාසයට එක්වේ.

මෙහි සංකල්පීය අදහස හිටපු සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා විසින් 2017 වසරේදී ඉදිරිපත් කරඇති අතර හිටපු සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රදීප් යසරත්න මහතා ඊට මැදිහත්ව තිබේ.

රුපියල් මිලියන 141ක මුදලක් වැයකර ඉදිකර ඇති මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කාන්තා පිරිමි නේවාසිකාගාරවලින්ද යුක්ත අතර පාඨමාලා පැවැත්වීම සදහා පහසුකම් සහිත පංතිකාමර පද්ධතියකින්ද යුක්තය.

මූලිකඅදියරේ ඇදුම් මැසීමේ පාඨමාලාව සහ ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව ආරම්භ කිරීමට නියමිත අතර ඒ සදහා සිසු සිසුවියන් 40 දෙනෙකු තෝරාගෙන ඇත. මේ සදහා අවශ්‍ය උපකරණ චයිල්ඩ් ෆන්ඩ් ආයතනය විසින් ලබාදී ඇත. විවිධ ආබාධ සහිත වයස අවුරුදු 16-35ත් අතර අවිවාහක තරුණ තරුණියන්ට මෙහි පාඨමාලා හැදෑරිය හැකිය. ඒ සදහා නේවාසික පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ආහාරපාන, වෛද්‍ය පහසුකම් හා දෛනික පැමිණීමේ දීමනාවක් මෙන්ම පුහුණුව අවසානයේ මෙවලම් කට්ටලයක් සමග වටිනා සහතිකයක් අභ්‍යාසලාභීන් වෙත පිරිනැමීමට නියමිතය.

මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කේ.කරුණාකරන්, වාලච්චේනෛ ප්‍රාදේශිය සභාවේ සභාපති සෝබා ජනරංජනී, සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීරආරච්චි, චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ නාලක සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස එක්විය.

More articles

Latest article