29 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල අළුත්වැඩියාවට චීන සමූහාණ්ඩුවෙන් ආධාර

Must read

දැනට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ පිහිටා තිබෙන උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල අළුත්වැඩියාව සඳහා චීන සමූහාණ්ඩුවෙන් රුපියල් මිලියන 7680ක පූර්ණ ආධාර මුදලක් ලබා දී ඇත.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වු ගිවිසුම් අත්සන් කිරීම අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) සිදුවූ අතර එහිදී අධිකරණ අමාතයංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා සහ චීන ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක LI Guangjun මහත්වරුන් ගිවිසුම අත්සන් කරන ලදි. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ද මේ අවස්ථාවට එක්විය.

මෙම ගොඩනැගිල්ල පූර්ණ චීන රජයේ ආධාර මුදලක් යටතේ අලුත්වැඩියා කිරීම සඳහා 2012 වසරේදී පමණ සිට විවිධ සාකච්ඡා පැවති අතර වර්තමාන අධිකරණ ඇමැතිවරයා වැඩ භාරගැනීමෙන් පසුව චීන රජය සමඟ සිදුකරන ලද සාකච්ඡා වලින් අනතුරුව මෙම ගොඩනැගිල්ලෙහි අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදුකිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇත.

මෙම අලුත්වැඩියාව සඳහා චීන සමූහාණ්ඩුවේ ප්‍රධාන කොන්දේසියක් වූවේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම හිස්කර දියයුතු බවයි. නමුත් ඇමැති අලි සබිරි මහතා විසින් චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිතුමා සමඟ සිදුකළ සාකච්ඡා අනුව කලාප වලට අධිකරණ සංකීර්ණය වෙන්කර කලාපයෙන් කලාපයට මෙම අලුත්වැඩියාව සිදු කිරීමට එකඟ විය. මෙම අලුත්වැඩියා සම්පූර්ණයෙන්ම ආපසු නොගෙවීමේ ආධාර මුදලක් ලෙස ලැබෙන රුපියල් මිලියන 7680 ක වියදමින් සිදු කරීමට නියමිත අතර දැනට අමාතයංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අභියාචනාධීකරණයට ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත.

මෙහිදී අදහස් දැක්වු අධිකරණ ඇමැතිවරයා පැවැසුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ පටන් දිගු කාලයක් තිස්සේ දෙරට අතර පවතින මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කරගතයුතු බව යි.

මෙරටෙහි ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් චීන රජය ඉතා සංවේදීව කටයුතු කර ඇති අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එල්ල වූ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා වලදී අපහට ශක්තියක් වීමට චීන රජය අමතක නොකල බවද පැවැසු ඇමැතිවරයා ‍අවධාරණය කලේ මෙරටෙහි ප්‍රධාන භෝගයන් අපනයනය කිරීමේ කටයුතු වලදී ද ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබඳවද චීන රජයට ස්තුතිය පල කරන බවයි.

එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයෙහි මෙතෙක් සිදු නොවී තිබූ වෙනස්කම් හා මෑතකදී කරන ලද සංශෝධනයන් හා යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සඳහන් කල ඇමැතිවරයා කුමන අභියෝග හමුවේ වුවද ඉදිරියටත් චීන රාජ්‍ය හා පවතින සම්බන්ධතාවය ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් ද සඳහන් කළේය. ආර්ථික සංවර්ධනය, අධිකරණ පද්ධතියේ සංවර්ධනය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල ප්‍රගමනය සදහා ලබා දෙන සහයෝගය අගය කරන බවත් එම තත්ත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා මෙහිදී සදහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් චීන තානාපති Qi Zhenhong මහතා සඳහන් කලේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සමඟ පවතින සම්බන්ධතාවය සම්බන්ධයෙන් අතිශයින් සතුටට පත්වන බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රීලංකාව පත්ව ඇති අවධානම් තත්ත්වය සලකා බලා එන්නත් කරන කටයුතු කඩිනමින් සිදු කිරීමට චීන රජය සහයෝගය ලබාදුන් ආකාරය පිළිබඳව ද සිහිපත් කල අතර උපරිමාධීකණ සංකීර්ණ මණ්ඩල ගොඩනැගිල්ල පමණක් නොව බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව සහ නෙළුම් පොකුණ ගොඩනැගිල්ල ඉදිකිරීමට දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන් ද ඒ මහතා සිහිපත් කළේය.

තම රටේ දිගුකාලීන මිත්‍රයකු වන ශ්‍රීලංකාවේ ආර්ථික සංවර්ධනය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රගමනය සඳහා තම රටේ සහය නිරන්තරයෙන් ලබාදෙන බවද ඒ මහතා සඳහන් කලේය.

More articles

Latest article