27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

දෙවැනි පාසල් වාරය අද සිට ඇරඹෙයි

Must read

සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් මත ගෙන, සෞඛ්‍ය බලධාරීන් විසින් පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ලබාදී ඇති උපදෙස් අකුරටම පිළිපදිමින් සහ පසුගිය මාර්තු මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ උපදෙස් ද සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් වල දෙවන වාරය අද (අප්‍රේල් 19) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

පාසල් වෙත සිසුන් ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව නිර්දේශ ඉදිරිපත් කරනතුරු පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි .

ඒ අනුව, පන්තියක සිසුන් සංඛ්‍යාව 15 ට අඩු නම් සියලු සිසුන් දිනපතා පාසල් වෙත කැඳවිය හැකි අතර, සිසුන් 16-30 අතර සිටීනම් කණ්ඩායම් දෙකක් වශයෙන් ද, 30 ට වැඩි නම් කණ්ඩායම් 3 ක් වශයෙන් ද කැඳවීමට උපදෙස් ලබාදී තිබේ.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, ආහාර හුවමාරු කර නොගැනීම, නිවසේ පිළියෙල කළ ආහාර පමණක් ගෙන ඒම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දරුවන් පාසල් වෙත කැඳවීමට සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක අංශ ඇතුළු විවිධ පාර්ශව වෙතින් මෙතෙක් ලබා දුන් සහායට කෘතවේදීත්වය පළ කරන බව ද, ඉදිරියටත් වගකීම්සහගතව ඒ අයුරින්ම කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යතුමන්ගෙන් ලැබුණු විශේෂ උපදෙස් මත රටේ සියලු දරුවන් පාසල් වෙත කැඳවා මුහුණට මුහුණ අධ්‍යාපනයට අවකාශ සලසා දීමට හැකිවීම සතුටුදායක කරුණක් බවත්, ලොව පුරා කෝවිඩ් තුන්වෙනි රැල්ලක්ද මතුවෙමින් පවතින අවධියක, රටේ ජනතාවගේ වගකීම්සහගත හැසිරීම සහ සහයෝගය හේතුවෙන් මෙසේ පාසල් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බව ද කෙසේවෙතත් කොවිඩ් අවදානම මෙරටින් තවමත් පහව ගොස් නැති බව සිහි තබා ගත යුතු බව ද ලේකම්වරයා අවධාරණය කරයි

More articles

Latest article