25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

සූර්ය බලයෙන් ක්‍රියාකරන ජල පොම්ප දස දහසක්

Must read

ගමේ තියෙන සියලු ප්‍රශ්න ගැමි කමිටු හරහා හදුනා ගෙන, රටේ මුදලින් ඉතාම අත්‍යවශ්‍ය වැඩ ටිකට ප්‍රමුඛතාවය ලබා දීලා අපේ ආණ්ඩු කාලය තුළ විශාල වැඩ කොටසක් ගමට කරන එක තමයි අපේ බලාපොරොත්තුව”යැයි රාජ්‍යය අමාත්‍ය  දුමින්ද දිසානායක මහතා පැවසීය.

 ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, කැකිරාව වෙරුන්කුළම විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ප්‍රථිසංස්කරණය කර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

කැකිරාව වෙරුන්කුළම විද්‍යාලයේ ප්‍රධාන ශාලාව වසර ගණනාවකින් ප්‍රථිසංස්කරණය නොතිබීම හේතුවෙන් එහි වහලය දිරාපත් වී ගොඩනැගිල්ල ඉතා අබලන් තත්වයේ පැවති අතර, මේ පිළිබඳව පසුගිය මැතිවරණ සමයේ දුමින්ද දිසානායක මහතාට දැන්වීමෙන් අනතුරුව එම විද්‍යාලයට පැමිණ එම අඩුපාඩු දැක බලාගෙන කඩිනමින් එම ගොඩනැගිල්ල ප්‍රථිසංස්කරණය කර දෙන බවට වූ පොරොන්දුව සඵල කරමින් රුපියල් ලක්ෂ 20 ක වියදමින් අදාළ ගොඩනැගිල්ල ප්‍රථිසංස්කරණය කර සිසු අයිතියට පත් කිරීම මෙලෙස සිදු කෙරිණි.

විද්‍යාලයට පැමිණි අමාත්‍යයතුමන් මහත් හරසරින් පිළිගත් විදුහල්පතිතුමන් ඇතුළු සිසු දරු දැරියන් විද්‍යාලය වෙත අමාත්‍යවරයා කැඳවාගෙන ගිය අතර, පාසලේ දරු දැරියන් සමඟ එක්ව ප්‍රථිසංස්කරණය කෙරුණු ප්‍රධාන ශාලාව අමාත්‍යවරයා විසින් සිසු අයිතිට පත් කරනු ලැබීය.අනතුරුව උත්සව සභාව ආරම්භ කෙරුණු අතර, හිටපු විදුහල්පති ඇතුළු විද්‍යාලයේ ගුරුභවතුන් මෙම ශාලාව ප්‍රථිසංස්කරණය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට තුති පුද කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා;
අපිට කතිරය ගහලා, ඡන්දය දීලා, ආණ්ඩු හදලා, ජනාධිපතිවරු හදලා, ජනතාව බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජීවන මට්ටම තියෙන මට්ටමට වඩා උසස් කර ගන්නයි.අපේ දරුවෝ ඉගෙන ගන්න පාසලේ අඩුපාඩු ටික නැති කර ගන්න,අපේ දරුවොත් නගරයේ පාසලක තියෙන සියලු පහසුකම් සහිතව තමන්ගේ ගමේ පාසලේ ඉගෙන ගන්නවා දකින එක තමයි දෙමව්පියන්ගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.

අපි 1948 සිට නිදහස ලැබුණට පස්සේ පැවති ආණ්ඩු සියල්ලම මේ රටේ සංවර්ධනයට දායක වෙලා තියෙනවා,ඉදිරියටත් අපිට තවත් ජනතාව වෙනුවෙන් සංවර්ධනය කළ යුතුව තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ගමේ තියෙන සියලු ප්‍රශ්න ගැමි කමිටු හරහා හදුනා ගෙන, පක්ෂ-පාට,ජාති-ආගම්,කුළ-මළ භේදයකින් තොරව ගම්මානයේ ගැමි කමිටුව රැස් වුණාම ගැමි කමිටුවෙන් එළියට එන්න ඕනකම තියෙන්නේ ආණ්ඩුවට කතිරය ගහපු අයගේ යෝජනා පමණක් නෙමෙයි.ගමේ හැමෝම එකතු වෙලා ඒ යෝජනා ලබා දෙන්න ඕන.මොකද මැතිවරණයක් දැන් නෑ,දිනපු අය දිනුවා-පැරදුන අය පැරදුනා. දිනපු අය ආණ්ඩු කරනවා.පැරදිච්ච කට්ටිය ආණ්ඩුවක් හදා ගන්න තව අවුරුදු 05 ක් බලාගෙන ඉන්න ඕන,හැබැයි දැන් ගැමි කමිටුව හරහා අපි යෝජනා කරන්නේ දිනන්න උදව් කරපු අයයි,පැරදිච්ච අයයි අපි හැමෝම එකතු වෙලා ගැමි කමිටුවෙන් ගම ගැන හිතලා තීන්දු ගන්න ඕන.ගැමි කමිටුව රැස් වුණාම ගමේ ප්‍රධාන අවශ්‍යතා මොනවද? ඒකේ ප්‍රමුඛතාවය දෙන්න ඕන මොනවටද? පාරට වෙන්න පුළුවන්, වැවට වෙන්න පුළුවන්, පාසලට වෙන්න පුළුවන්, ප්‍රජා ශාලාවට වෙන්න පුළුවන්, වෙනත් යමකට වෙන්න පුළුවන්,මෙහෙම ප්‍රමුඛතාවයක් තමයි හැදෙන්න ඕන, ඒ හැදුනට පස්සේ මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වුණාම අපිට පුලූවන්කම ලැබෙනවා අනවශ්‍යය වැඩ නොකර රටේ මුදලින් ඉතාම අත්‍යවශ්‍ය වැඩ ටිකට ප්‍රමුඛතාවය ලබා දීලා අපේ ආණ්ඩු කාළය තුළ විශාල වැඩ කොටසක් ගමට කරන එක තමයි අපේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.

අපි නිවාස නොමැති අයට නිවාස හදනවා,වැසිකිලි නැති අයට වැසිකිලි හදනවා, අපේ අමාත්‍යංශය හරහා පළමු වැනි වතාවට අපේ අමාත්‍යංශය මගින් ලංකාවේ විදුලිය නොමැති සියලු දෙනාටම අපි විදුලිය ලබා දීලා අවසන් කරනවා.වෙනදා අපි විදුලි බල මණ්ඩලයෙන් එක පුද්ගලයෙක් වෙනුවෙන් වියදම් කළේ, ලක්ෂ 03 ½ ක උපරිම මුදලක් පමණයි, නමුත් අපි මෙවර ප්‍රථිපත්තිමය තීන්දුවක් ගත්තා මේ වසර තුළ සෑම නිවසකටම, සෑම විදුලිය ඉල්ලුම තියෙන ස්ථානයකටම විදුලිය ලබා දෙන එක තමයි අපේ වගකීම වෙන්නේ.ඒක ලක්ෂ 3 ½ ක්ද- 05 ක් ද කියන එක නෙමෙයි.

ඒ නිසා මින් ඉදිරියට විදුලිය ලබා දෙන විට පුද්ගලයෙක් වෙනුවෙන් ලක්ෂ 3 ½ විතරයි වියදම් කරන්නේ කියන සීමාවේ නෑ.අපි වගකීමක් කර ගත්තා විදුලිය ඉල්ලන්නේ කවුද? ඒ සියලු දෙනා වෙනුවෙන්ම නිවස ඉස්සරහා කණුවේ විදුලිය තියන එක තමයි අපේ වගකීම.ඒ වගේම අපි සුවිශේෂී තීන්දුවක් ගත්තා විදුලිය නැති නිවාස වලට විදුලිය ලබා දීමේදී,වැඩියෙන්ම විදුලිය ගන්න බැරිව ඉන්නේ කාටද කියලා අපි සොයා බැලුවා.ඒ ගොඩේ ඉහළින්ම ඉන්නේ සමෘද්ධි ප්‍රථිලාභීන්,ඒ අනුව අපි තීන්දුවක් ගත්තා විදුලි බල මණ්ඩලය අය කරන සම්බන්ධතා ගාස්තුව වන රුපියල් විසි දහසක පමණ මුදල අය නොකර, විදුලිය නොමැති සියලුම සමෘද්ධි පවුල් වෙනුවෙන් නොමිලේ විදුලි සම්බන්ධතාවය ලබා දෙන්න.ඒ විතරක් නෙමෙයි, සමෘද්ධි ප්‍රථිලාභීන් වෙන්න බලාගෙන ඉන්න පොරොත්තු ලේඛණයේ අයටත් ඒ වරප්‍රසාදය ලබා දෙන්න තීන්දු කළා. විදුලිය නොමැති පවුල් ලක්ෂයක් ඉන්න කොට, මේකෙන් භාගයකටත් වඩා වැඩි පිරිසක් ඉන්නවා,සමෘද්ධි හා සමෘද්ධි පොරොත්තු ලේඛනයේ ඉන්නවා.පවුල් පනස් දහසකට පමණම විදුලි බල මණ්ඩලයෙන් පාරේ විදුලි කණුව අදිනවා පමණක් නෙමෙයි, විදුලි සම්බන්ධතාවය නොමිලේම විදුලිය ලබා දෙනවා.අමාත්‍යංශයක් ලෙස අපිට ඉදිරියේදීත් විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා.ඒ වගේම තවත් මේ ආණ්ඩුවේ අමාත්‍යංශ රැසක් විශාල වැඩකොටසක් සිදු කරනවා.
ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් අපේ අමාත්‍යංශය හරහා සූර්ය බලයෙන් ජල පොම්ප දස දහසක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරුභවතුන්, සිසු දරු දැරියන් හා දෙමාපියන් එක්ව සිටියහ.

More articles

Latest article