28.7 C
Colombo
බදාදා, මැයි 22, 2024

රන්ජන් මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් පාඩුවක් – සජිත් ප්‍රේමදාස

Must read

රන්ජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක් බවත්, වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රන්ජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (26) පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අගුණකොළපැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව කිසිදාක මුල්‍ය චෝදනාවක්,අල්ලස් චෝදනාවක්, මහජන දේපළ සොරකම් කළ චෝදනාවක් එල්ල වී නැති බවත්,ළඟ ඇති දේ පවා ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ ඔහු මානවවාදියකු බවත් විපක්ෂ නායකවරයා කීය.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් කීපවතාවක්ම ජනාධිපතිගෙන් ඉල්ලීම් කළ බව පැවසූ විපක්ෂ නායකවරයා එම ඉල්ලීම් ප්‍රකාරව රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයා කඩිනම් තීන්දුවක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද කීය.

ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ නොනවතින වුවමනාවක් රන්ජන් රාමනායක මහතා තුළ පැවැති බවත්, බොහෝ ව්‍යසන අවස්ථාවන්වලදී ඔහු දෙවරක් නොසිතා ජනතාව වෙනුවෙන් පෙරට ආ බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

More articles

Latest article