30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

කැපිටල් හිල් ගොඩනැඟිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වූ අරගලකරුවන් උසිගැන්වූ ට්‍රම්ප්ට නඩු

Must read

අමෙරිකාවේ සෙනට් සභාව සහ පාර්ලිමේන්තුව රැස් වන වොෂින්ටන් නුවර කැපිටල් හිල් ගොඩනැඟිල්ලට පසුගිය වසරේ ජනවාරියේදි බලහත්කාරයෙන් ඇතුළු වූ අරගලකරුවන් ඒ සඳහා පෙලඹවූ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගොනු කර ඇති නඩු තුනක් විභාගයට ගැනීමට වොෂින්ටන් නුවර දිස්ත්‍රික් විනිසුරු අමිත් මෙහ්තා අදාළ නිලධාරීන්ට අවසරදී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. එම කැරැල්ල අතරතුර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනකු විසින් එසේ ගොනු කරනු ලැබූ නඩු විභාග කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙස හිටපු ජනාධිපතිවරයා උසාවියට ඉදිරිපත් කළ මෝසමක් ඉවත දමමින් දිස්ත්‍රික් විනිසුරුවරයා මේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු විභාගය ඉදිරියට පවත්වා ගෙන යෑමට අවසර ලැබී ඇත්තේ කැපිටල් හිල් ගොඩනැඟිල්ලේ කැරැල්ලට අරගලකරුවන් මෙහෙයවූ බවට චෝදනා ලැබූ ටෙක්සාස් ප්‍රාන්තයේ පුද්ගලයකුට වසර 7ක සිර දඬුවමක් නියම කිරීමෙන් පසුවය. ගයි රෙෆිට් නමැති 49 හැවිරිදි මේ පුද්ගලයාට සිර දඬුවම් නියම වීමෙන් පසු ඔහුගේ දියණියන් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝග පිළිපැදීමට සිය පියා පෙලඹවූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලීමක් ද කර ඇත.

පසුගිය වසරේ ජනවාරි මස 6 දා ට්‍රම්ප් හිතවාදීන් සිය ගණනක් කැපිටල් හිල් ගොඩනැඟිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිදු වීමට හිටපු ජනාධිපතිවරයා වගකිව යුතු බවට චෝදනා කරමින් එම නඩු ගොනු කර තිබේ. වසර 2019 අවසානයේ පැවති එරට ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම නොපිළිගනිමින් ජනතාව කැපිටල් හිල් ගොඩනැඟිල්ල වෙත ගොස් සිය විරෝධතාව පෙන්නුම් කරනු ඇතැයි තමා දන්නා බවට ඔහු එදින කැරැල්ලට පෙර ප්‍රකාශයක් කර ඇති බව සාක්ෂි සහිතව එම චෝදනා ගොනු කර තිබිණි. මේ අතර හිටපු ජනාධිපති ට්‍රම්ප්ට ද කැරැල්ල සිදු වෙමින් පවතින අතරතුර කැපිටල් හිල් ගොඩනැඟිල්ල වෙත යෑමේ බලවත් අවශ්‍යතාවක් තිබූ බව ඔහුගේ නිල රථ පෙළ භාරව රාජකාරි කළ පොලිස් නිලධාරියකු සීඑන්එන් පුවත් සේවයට ප්‍රකාශයක් කර ඇත. එහි නොයා යුතු බවට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දැනුම් දුන් මොහොතේ ට්‍රම්ප් දැඩි කෝපයට පත්වූ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. හිටපු ජනාධිපතිවරයා කැපිටල් හිල් ගොඩනැඟිල්ල අසලට යෑම අරගලකරුවන් තවත් දිරිගන්වන කරුණක් වීමට ඉඩ තිබූ බව ද දැනට විශ්‍රාම සුවයෙන් පසු වන එම පොලිස් නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

කැපිටල් හිල් ගොඩනැඟිල්ලට ඇතුළු වූ පළමු අරගලකරුවා ලෙස හඳුනාගෙන සිටි ගයි රෙෆිට් අත්අඩංගුවට ගැනීමේදී ඔහු පිළිබඳ පළමුවෙන් දැනුම් දුන් ඔහුගේ පුත්‍රයාගේ සාක්ෂිය ප්‍රබල සාධකයක් වී ඇත. ඔහුගේ පුත් 19 හැවිරිදි ජැක්සන් විසින් කැරැල්ලට සති කිහිපයකට පෙර සිය පියාගේ සැලසුම පිළිබඳ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ එෆ්බීඅයි බුද්ධි අංශයට ඔත්තු සපයා ඇතැයි ද වාර්තා වේ. කැරැල්ලට එක් නොවන ලෙස පියාගෙන් ඉල්ලීමක් කළ බවත්, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු තමාට තර්ජනය කළ බවත් රෙෆිට්ගේ පුත්‍රයා විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

More articles

Latest article