32 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

විදුලි ගාස්තු සංශෝධනය: ත්‍රෛයිනායක නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Must read

මහජන සුබ සිද්ධිය අරමුණු කරගත් සාරධර්ම හා ආධ්‍යාත්මික ගුණවගාවෙන් සුපෝෂිත සමාජය සංස්ථාවන් නිර්මාණය කිරීම උදෙසා ආගමික සිද්ධස්ථාන වෙතින් දෙන සමාජ දායකත්වය පිළිබඳ අවධානය යොමුකර විදුලි ගාස්තු සම්බන්ධයෙන් ආගමික සිද්ධස්ථාන සඳහා ක්‍රමවත් සහනශීලි නව විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව දන්වමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (20) ලිපියක් යොමුකර තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත්කර තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. ලංකා ද්වීපය පුරා පිහිටා ඇති බෞද්ධ විහාරස්ථාන හා අනිකුත් ලියාපදිංචි ආගමික ස්ථාන මගින් සමාජ යහ පැවැත්ම උදෙසා සුවිසල් කාර්ය සමුදායක් සිදු කෙරේ. එමෙන්ම දිවයිනේ සෑම ප්‍රදේශයකම සමාජ සත්කාරයන් සිදුවනුයේ ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමිනි.

විශේෂයෙන්ම බෞද්ධ විහාරස්ථාන හා වෙනත් ආගමික සිද්ධස්ථාන වෙත ආගමික කටයුතු සඳහා ජනතාව පැමිණෙන්නේ සිය දෛනික කාර්යයන් අවසන් කොට සවස් කාලයේ දී ය. එලෙස දෛනිකව, සතිපතා හා මාසිකව ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන ජාතික, ආගමික හා සාමාජිය කාර්ය සමුදාය පිළිබඳ අවධානය යොමු කරමින් මේ දක්වා ආගමික සිද්ධස්ථාන වෙත විදුලි ගාස්තු සම්බන්ධයෙන් ලබාදී තිබූ සහනශීලිත්වය ආගමික සිද්ධස්ථාන තුළින් සිදු කෙරෙන එකී උදාර ආධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වයේ අඛණ්ඩ ප්‍රවාහය උදෙසා මනා පිටිවහලක් විය.

එහෙත් ආගමික සිද්ධස්ථාන වෙත මේ තාක් කල් ලබා දී තිබූ සහනශීලි විදුලි ගාස්තු ක්‍රමය 2022 අගෝස්තු මස සිට අහෝසි කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කිරීම කණගාටුවට කරුණකි. චිරාගතව පැවතෙන ආගමික පුද චාරිත්‍රයන් නොපවත්වා ජනතාව ආගමික සිද්ධස්ථාන කෙරෙන් ඈත් කිරීම අනාගතයේ දී බොහෝ අනිටු ඵල විපාක සමාජය තුළ ඇති කිරීමෙහිලා හේතු විය හැකි බව වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් හා අමාත්‍යවරුන් මෙවැනි ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට පෙර ගැඹුරින් අවධානය යොමු කළ යුතුව තිබූ බව සිහිපත් කරනු කැමැත්තෙමු.

බෞද්ධ විහාරස්ථාන ඇතුළු බොහෝ ආගමික සිද්ධස්ථාන නඩත්තු වනුයේ ජනතාවගේ පරිත්‍යාගයන් මත බව නොරහසකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගම පෝෂණය කොට සුරක්ෂිත කරන බවට ප්‍රතිඥා දී ඇති රජය, ආගමික සිද්ධස්ථාන මගින් නිස්සරණාධ්‍යාශයෙන් යුතුව සමාජ ප්‍රගමනය උදෙසා සිදු කරන ජාතික, ආගමික හා සාමාජිය සේවය අවතක්සේරුවට ලක් කරමින් ආගමික සිද්ධස්ථාන ද මූල්‍යමය ලාබ උපදවන කර්මාන්ත ශාලා මට්ටමෙහි ලා සලකමින් සිදු කර ඇති නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් මේ වන විට බෞද්ධ විහාරස්ථාන, පිරිවෙන් අධ්‍යාපන ආයතන ඇතුළු ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යාම අතිශයින් දුෂ්කර වී ඇත. එමෙන් ම මෙම දැරිය නොහැකි අධික විදුලි ගාස්තු හේතුවෙන් ආගමික සිද්ධස්ථාන පරිපාලන කටයුතු කරන ආගමික නායකයන් ද දැඩි පීඩනයකට පත්ව ඇත.

More articles

Latest article