26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

‘කැන්ඩි ඔඩිසි’ ගමන් අරඹයි

Must read

සති අන්තයේ දී කොළඹ කොටුව සහ මහනුවර අතර ‘කැන්ඩි ඔඩිසි’ විශේෂ සුඛෝපභෝගී දුම්රිය ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (01) ධාවනයට එක් කෙරිණි.

පෙරවරු 6.30 කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ දුම්රිය පෙරවරු 9.18 වන විට මහනුවරට ළඟා විය. දර්ශනීය දුම්රිය මාර්ගයක් වන කඳුරට දුම්රිය මාර්ගයේ මනරම් ස්ථාන දෙකක් වන උතුවන්කන්ද සහ සිංහ ලකුණ දර්ශනය වන පරිදි මිනිත්තු කිහිපයක් දුම්රිය නවතා එම අත්දැකීම විඳගන්නට අවස්ථාව සලසා දීමට පියවර ගැනීම මෙහි විශේෂත්වයක් වූ අතර, මාවනැල්ල නගරය ද එහිදී මනාව දර්ශනය විය.

එම දුම්රිය පෙරවරු 9.18ට මඳක් පමා වී මහනුවර දුම්රිය ස්ථානයට ළඟා වූ අතර, නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වී රාත්‍රී 7.40ට කොළඹ කොටුවට ළඟා විය. සෙනසුරාදා සහ ඉරිදාත්, නිවාඩු දිනවලත් මේ දුම්රිය ධාවනය කෙරේ.

මේ අවස්ථාවට එක් වෙමින් ඇමැතිවරයා මෙසේ පැවැසීය.

“මේ නව දුම්රිය ධාවනයට එක් කරන්නේ දෛනිකව වැඩි වන මගී අවශ්‍යතා අනුවයි. මෙහි පළමු පන්තියේ ආසනයක් රුපියල් 2000කටත්, දෙවන පන්තියේ ආසනයක් රුපියල් 1500කටත් මිලදී ගත හැකියි.

මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමටත්, පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමටත්, මහනුවර නගරයේ සිරි නරඹන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුවටත් මේ දුම්රිය යොදවනවා. සුඛෝපභෝගී, විශ්වාසනීය, ආරක්ෂිත සේවාවක් සැපයීම මේ සේවාවෙන් සිදු වෙනවා. අනුරාධපුර අටමස්ථානය වන්දනා සඳහා යන ජනතාවට කොළඹ කොටුවේ සිට අනුරාධපුරයට නව විශේෂ දුම්රිය සේවාවක් නුදූරේදීම ආරම්භ කරනවා.”

More articles

Latest article