28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීමට සාකච්ඡා

Must read

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවක් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පැවැත්විණි.

බංග්ලාදේශයට අපනයනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ඇමැතිවරයා සහ මහ කොමසාරිස්වරයා අතර මේ හමුවේ දී සාකච්ඡාවට ලක් විය. තේ, රූපලාවන්‍ය සහ පෞද්ගලික සත්කාර නිෂ්පාදන, නිමි ඇඳුම් කර්මාන්තය සඳහා යෙදවුම් නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, වියන ලද රෙදිපිළි, රසායනික නිෂ්පාදන, ටයර් ඇතුළු රබර් ආශ්‍රිත නිෂ්පාදන නියෝජනය කරමින් සමාගම් 30ක් පමණ මේ අවස්ථාවට එක්ව සිටියහ.

සාකච්ඡාවේදී අදහස් දක්වමින් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ වන විට වෙළෙඳ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රේඛීය ආයතන සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට යෝජිත බංග්ලාදේශ – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (BS-SL PTA) සඳහා කටයුතු කරමින් සිටිනවා.”

බංග්ලාදේශ මහ කොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් මහතා මෙහිදී දෙරට අතර වෙළෙඳාම, ආයෝජන සහ භාණ්ඩ ප්‍රවාහන සේවයන් දියුණු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී. ද මෙල් සඳහන් කළේ මේ රැස්වීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට ඔවුන්ගේ අදහස් මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ බෙදා ගැනීමට සහ සාකච්ඡා කිරීමට වේදිකාවක් සපයන බවයි.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට අපනයනය කරන ප්‍රධාන නිෂ්පාදන වන්නේ විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, වියන ලද රෙදි, පෙට්‍රෝලියම් තෙල්, පෙට්‍රෝලියම් වායු, නිමි ඇඳුම් සඳහා යෙදවුම් නිෂ්පාදන, ප්ලාස්ටික් නිෂ්පාදන, බෝල්ට්, ලෝහ සහ කඩදාසි නිෂ්පාදනයන්ය. බංග්ලාදේශය 2020 දී ශ්‍රී ලංකාවේ 21 වන අපනයන ගමනාන්තය වූ අතර එහි වටිනාකම ඩොලර් මිලියන 153.44කි.

බොහෝ අපනයනකරුවන් තම නිෂ්පාදන අපනයනයට හා ආයෝජන කටයුතු සඳහා බංගලාදේශ වෙළෙඳපොළෙහි ඇති වැදගත්කම පෙන්වා දුන් අතර, එහිදී තමන් මුහුණ දෙන ගැටලු පිළිබද වෙළෙඳ ඇමැතිවරයා මහ කොමසාරිස්වරයා ඇතුළු අනෙකුත් නිලධාරීන් දැනුම්වත් කරන ලදි. ඒ අතර ලංකාවේ සිදු කරන අපනයන භාණ්ඩ සඳහා ඇති ඉහළ බදු අනුපාත, වීසා ගැනීමේ දී පැන නඟින ගැටලු, ප්‍රමාණවත් භාණ්ඩ හා මගී ප්‍රවාහන නෞකා නොමැති වීම හා ගුවන් සේවාවල ඇති ගැටලු පිළිබඳව පෙන්වා දී ඇත.

බංග්ලාදේශයට වීසා ගැනීම සඳහා ඇති පහසුකම් ගැන මෙහිදී අවධානය යොමු කළ අතර, යෝජිත බංග්ලාදේශ – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම් සඳහා අපනයනකරුවන්ගේ බදු සහන සඳහා වන ඉල්ලීම් යොමු කර ඇති බව ද දැනුම් දුන්නේය.

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී. ද මෙල්, අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක, බංග්ලාදේශයේ දේශපාලන උපදේශක Md. Reyad Hossain මහත්ම මහත්මීන්, වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, අපනයනකරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

More articles

Latest article