25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී සී. ඒ. කොළොන්නේ මහත්මිය තායිලන්ත කර්මාන්ත ඇමැති හමුවෙයි

Must read

ආසියානු රටවල් සමඟ ශක්තිමත් සබඳතා පැවැත්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය යටතේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත කර ඇති බව රජය පවසයි.

ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ විදේශ සබඳතා ආදී කරුණු වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග බවට පත්ව ඇතැයි තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී සී. ඒ. කොළොන්නේ මහත්මිය පෙන්වා දුන්නාය.

තායිලන්ත කර්මාන්ත ඇමැති සූරියා ජුන්ගෘන්ග්‍රියාන්කිට් මහතා හමු වූ අවස්ථාවේ තානාපතිනිය මේ බව සඳහන් කර තිබේ. තානාපතිනිය උණුසුම් ලෙස පිළිගත් ඇමැති ජුන්ගෘන්ග්‍රියාන්කිට් මහතා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආයෝජන ප්‍රතිපත්තිවල පවත්නා සමානකම් පිළිබඳවත්, දෙරට අතර වෙළෙඳ වටිනාකම ඉහළ නැංවීමට තායිලන්තය අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.

ආහාර සැකසීම, මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය, විලාසිතා නිර්මාණය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යන ක්ෂේත්‍ර ආශ්‍රිත විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම අනාගත සහයෝගීතාව වැඩිදියුණු කර ගත හැකි ක්ෂේත්‍ර ලෙස ඇමැති ජුන්ගෘන්ග්‍රියාන්කිට් මහතා මෙහිදී සඳහන් කළේය. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

ජුන්ගෘන්ග්‍රියාන්කිට් මහතාට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කර්මාන්ත ඇමැතිවරයාගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමූ තානාපතිනී චාමින්දා කොළොන්නේ මහත්මිය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය යටතේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත කර ඇති බවත් අවධාරණය කළාය.

ඇමැති ජුන්ගෘන්ග්‍රියාන්කිට් මහතාගේ ප්‍රකාශය අනුමත කළ තානාපතිනිය වර්තමානයේදී ඉතා අවම මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතු ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, තායිලන්තය සමඟ අත්සන් තබන ලද උපායමාර්ගික ආර්ථික සහයෝගිතා ගිවිසුම යටතේ හඳුනාගෙන ඇති ක්ෂේත්‍ර වේගවත් කිරීමටත් ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දක්වන බව ප්‍රකාශ කළාය.

ප්‍රමාණවත් ආර්ථික දර්ශනය, හවුල් ව්‍යාපාර සඳහා ව්‍යාපාරාන්තර හවුල්කාරීත්ව සහ ආයෝජන ආදිය මත පදනම් වූ තායිලන්තයේ One Tambon One Product (OTOP) වැඩසටහන, ‘එක් ගමක් එක් නිෂ්පාදනයක්’ (OVOP) නමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම මෙහිදී සාකච්ඡාවට ලක් වූ අනෙකුත් ක්ෂේත්‍ර අතර විය. ශ්‍රී ලංකාවේ ඉල්මනයිට්, මිනිරන්, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඖෂධ, වාහන හා අමතර කොටස් සහ තේ කර්මාන්තය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා අනාගත සහයෝගීතාව පිළිබඳ අවස්ථා සෙවීමට තානාපතිනිය යොමු කළ ඉල්ලීම පරිදි ඇමැති ජුන්ගෘන්ග්‍රියාන්කිට් මහතා තායි කර්මාන්ත සම්මේලනයට සහ සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

More articles

Latest article