28 C
Colombo
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 29, 2022

පුහුණු හෙදියන්ට එක්සත් රාජධානියේ රැකියා

Must read

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීමට ශක්තියක් වෙමින් මෙරට පුහුණු හෙදියන් සඳහා එක්සත් රාජධානියේ රැකියාවේ නිරත වීමට අවස්ථාව හිමිව තිබේ.

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවයකදී විදේශ ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා එක්සත් රාජධානියේ රෝහල්වල රැකියා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලාංකික පුහුණු හෙදියන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පහසුකම් ඇතිව ශ්‍රී ලංකාවේ වැලිසර ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනය (IIHS) ක්‍රියාත්මක කළ වැඩසටහන යටතේ පුහුණුව ලත් පළමු හෙද කණ්ඩායම මෙය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පත්වීම්ලාභීන්ට සුබ පතමින්, වඩාත් දියුණු සෞඛ්‍ය පද්ධතියක විශිෂ්ට වෘත්තියක් කරා යන ඔවුන්ගේ ගමන මේ වන විට ආරම්භ වී ඇති බවත්, ශ්‍රී ලාංකික සත්කාරක වෘත්තිකයන්ගේ ප්‍රතිරූපය ගොඩනැඟීම සඳහා අපේ රටේ නියෝජිතයන් වීමට ඔවුන්ට ආරාධනා කරන බවත් ඇමැති සබ්රි මහතා පැවසීය. “ඔබේ සාර්ථක වෘත්තීන් අනාගතයේ දී ශ්‍රී ලංකාවට තවත් අවස්ථා සහතික කරනු ඇති අතර, ඔබේ විශේෂඥභාවය සහ පුහුණුව සමඟින්, එක්සත් රාජධානියේ කීර්තිනාමය තවදුරටත් ඉහළ නංවනු ඇති බවට විශ්වාස යැයිද ඇමැතිවරයා පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ දූරදර්ශී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනයට සහ එක්සත් රාජධානියේ එහි අනුග්‍රාහක නියෝජිතායතනවලට ස්තූතිය පළ කළ ඇමැතිවරයා, රට විදේශ මුදල් ප්‍රේෂණ වැඩිකිරීම සඳහා වන සියලු මාර්ග ගවේෂණය කරමින් සිටින අතරතුර දී, මෙමඟින් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට විදේශ රැකියා ලබා ගැනීමට හැකිවනු ඇති බවද සඳහන් කළේය.

පත්වීම්ලාභීන් මෙන්ම මෙම වැඩසටහනට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන් ද දිරිමත් කරමින්, කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනයෙහි නිර්මාතෘ වෛද්‍ය නිහාල් ද සිල්වා, ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනයෙහි සම නිර්මාතෘ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

More articles

Latest article