30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

එජාප 76 වැනි සංවත්සරය හෙට

Must read

රට ගොඩ ගැනීමට සියලුම දෙනා එක් කර ගැනීමේ අරමුණින් “එක්ව ගොඩනඟමු “ යන තේමාවෙන් එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය මෙවර සමරන බව පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (4) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පක්ෂ සම්මේලනය හෙට (6) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හවස 3ට පැවැත්වෙන බවත් රංගේ බණ්ඩාර මහතා කීය.

1948 දී රටට නිදහස ලබා ගැනීම සඳහා ඩී.එස්.සේනානායක මහතාගේ මූලිකත්වයෙන් සියලු ජාතීන් එකට එක් වූ බව සඳහන් කළ ඒ මහතා වර්තමානයේ ආර්ථික අර්බුදයෙන් නිදහස් වීම සඳහා එක් වන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇතැයිද කීවේය.

ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගැනීමේ කාර්යභාරයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අත ගසා ඇතැයිද එම අරමුණ තේමා කර ගනිමින් පැවැත්වෙන මෙවර පක්ෂ සංවත්සරයට සියලු පක්ෂ සහ සංවිධානවලට ආරාධනා කර ඇතැයිද කී රංගේ බණ්ඩාර මහතා අලුත් ගමනක් සඳහා සියලු දෙනා එක් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පැවසීය.

1953 හර්තාලයෙන් පසු එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා පරාජය බාර ගෙන ඉවත් වුවත් 1958 වන විට නැවතත් රටට ඔහු අවශ්‍ය වූ බව පෙන්වා දුන් ඒ මහතා 2020දී ජනතාව ප්‍රතික්ෂේප කළ රනිල් වික්‍රමසිංහ මහතා, රට කඩා වැටුණු පසු නැවතත් එය ගොඩ ගැනීමට රටට අවශ්‍ය වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂය කිසි දිනක වැඩ නොකර පරාජයට පත් වූ පක්ෂයක් නොව රටේ සංවර්ධනය, රාජ්‍ය සේවකයන්, රැකියා උත්පාදනය සහ අපනයනය ශක්තිමත් කිරීම සහ කෘෂිකර්මය දියුණු කිරීමට කටයුතු කර තිබියදී හිස් පොරොන්දු, බොරු ප්‍රචාර සහ බොරු අවලාදවලින් ජනතාව මුලා වීම නිසා පරාජයට පත් වූ බවත් සඳහන් කළේය.

More articles

Latest article