28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන්නේ මිල ස්ථායිකරණ අරමුදලයි -අමාත්‍ය උදය ගම්මන්පිල

Must read

ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන්නේ මිල ස්ථායිකරණ අරමුදල බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ජාතික තෙල් සහ ගෑස් සමාගම පිහිටුවීම සහ ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිහිටුවීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

එහිදී බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්

2021 අංක 21 දරණ ඛනිජතෙල් සම්පත් පනතේ පස්වන කොටස මගින් ජාතික ඛනිජතෙල් මෙහෙයුම්කරු ලෙස කටයුතු කිරීමට සමාගමක් පිහිටුවිය යුතු බවත් එකී සමාගම ජාතික ඛනිජතෙල් මෙහෙයුම්කරු බවට ඇමතිවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කල යුතු බවත් සඳහන් වෙනවා. ඒ වගේම 2020 ඔක්තෝම්බර් මාසයේ දී ඇමති මණ්ඩලය අනුමත කල ජාතික ගෑස් ප්‍රතිපත්තියේ ද
ජාතික ඛනිජතෙල් මෙහෙයුම්කරු ලෙස සමාගමක් පිහිටුවිය යුතු බවට සඳහන් වෙනවා. ජාතික ඛනිජතෙල් මෙහෙයුම්කරු ලෙස “ශ්‍රී ලංකා තෙල් සහ ගෑස් සමාගම” නමින් ලංකා ඛනිජතෙල් සංස්ථාවේ පාලිත සමාගමක් පිහිටුවීමට මා කළ යෝජනාවට 2021 නොවැම්බර් 23 දින ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණා.

මේ සමාගම සිදු කරන්නේ ශ්‍රී ලංකා වේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණට සහ කැනීමට පැමිණෙන සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කරන රාජ්‍ය හවුල්කරු ලෙස කටයුතු කිරීමයි. ඒ අනුව ලංකාවේ තෙල් සහ ගෑස් කැනීම් කරන්න එන සමාගම් 15% දක්වා කොටස් අයිතිය මේ සමාගමට ලබාදීලා පිහිටුවන හවුල් ව්‍යාපරායකින් තමයි ලංකාවේ ගවේෂණය හෝ කැනීම් සිදුකළ යුත්තේ. 15% දක්වා කොටස් අයිතිය වගේම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරක් ද මේ සමාගමට ලබා දිය යුතුයි. අපිට එක පැත්තකින් මේ සමාගම් තෙල් හා ගෑස් කැණීමෙන් උපය ලාභයෙන් කොටසක් ලංකාවට හිමිවෙනවා. අනික් පැත්තෙන් ඒ අධ්‍යක්ෂක මණ්ඩලවල කටයුතු කරලා කළමනාකරණයට සහභාගී වීම හරහා මේ විෂය පිළිබද තාක්ෂණික දැණුම හා පළපුරුද්ද ලබාගන්නත් ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙනවා.

එවිට තවත් වසර 10 කින් පමණ විදෙස් සමාගම් ගෙන්වාගන් නැතුව අපේම මේ සමාගම හරහා අපේ රටතුළත් අවශ්‍යනම් පිටරවලත් තෙල් හා ගෑස් ගවේශණ කටයුතු සිදු කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. මැලේසියාවේ පෙට්‍රෝනාස් සහ ඉන්දියාවේ ඕඑන්ජීසී බිහි වුණේ මේ ආකාරයටයි. මේ ආදර්ශ දෙක දිහා බලල තමයි අපිත් මෙවැනි සමාගමක් පිහිටුවිය යුතුයි කියලා තීරණය කළේ.

මේ සමාගම පිහිටුවීමේ අරමුණ තමයි ලංකාවේ ඛනිජතෙල් ගවේශණයෙන් නිලධාරීන් හෝ දේශපාලකයන් අතලොස්සක් වෙනුවට රටේ ජනතාවට ජාතියට එහි ප්‍රථිලාභ ලැබෙන බවට වග
බලාගැනීම.

පසුගිය ඇමති මණ්ඩල රැස්වීමේ දී ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීමට අනුමැතිය හිමි වුණා. ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලෙන් සිදු වෙන්නේ ලෝක වෙලඳපොලේ මිල
උච්චාවචනයන්ගෙන් ජනතාවට බලපෑමක් ඇතිවන එක වලක්වලා ඉන්ධන මිල හැකිතාක් දුරට ස්ථාවරව පවත්වා ගැනීමයි. වෙලඳපොලේ මිල පහත වැටුණාම එහි වාසිය සම්පූර්ණයෙන්ම
ජනතාවට දෙන්නේ නැතුව මිල ස්ථායීකරණ අරමුදලට මාරු කරනවා. ඒ වගේම මිල ඉහල යන විට එහි බර සම්පූර්ණයෙන්ම ජනතාවට දෙන්නේ නැතුව හැකිතාක් දුරට මේ අරමුදල විසින් දරා
ගන්නවා. ලෝකයේ රටවල් හතක ක්‍රියාත්මක ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල් ගැඹුරින් අධ්‍යනය කරලා තමයි අපි මේ අරමුදල පිහිටුවූයේ.

අරමුදලේ සභාපතිවරයා වන්නේ බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ලංකා ඛනිජතෙල් සංස්ථාවේ නියෝජිතයෙකු, එල්අයිඕසී සමාගමේ නියෝජිතයෙකු, ධීවර ඇමතිවරයා විසින් නම් කරන ධීවර සංගම් නියෝජිතයෙකු, ප්‍රවාහන ඇමතිවරයා විසින් නම් කරන ප්‍රවාහන සංගම් නියෝජිතයෙකු සහ බලශක්ති ඇමතිවරයා නම් කරන ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා දැනුම සහිත සාමාජිකයින් දෙදෙනෙකුගෙන් මෙම අරමුදල සමන්විත වෙනවා. ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල තීරණය කරන්නේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල විසින් මිස අමාත්‍යවරුන් නොවෙයි.

2021 මාර්තු 15 ඉදිරිපත් කල ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවීමේ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය හිමි වුණේ නොවැම්බර් 23දා. මේ මාස අටක කාලය තුල ඛනිජතෙල් මිල 36%කින් ඉහල ගියා. ඒ නිසා මේ අරමුදල පිහිටවූ වහාම ජනතාවට ක්ෂණික සහන ලබාදීමේ හැකියාවක් නෑ. මේ අරමුදල පිහිටුවිය යුතුව තිබුණේ ඉන්ධන මිල පහත වැටෙමින් තිබුණු අවස්ථාවේ. එහෙම නම් ඉන්ධන මිල ඉහල යන විට එහි බර ජනතාව පිට පටවන්නේ නැතුව අරමුදලට දරන්න තිබුණා. නමුත් දැන් ඉන්ධන මිල ඉහල යෑමේ බර දැරීමට අරමුදල තුල මුදල් නෑ. මූලික මුදලක් ලබා දීමට භාණ්ඩාගාරයට හැකියාවක් ඇත්තේත් නෑ. අරමුදල පිහිටුවීමේ ප්‍රමාදය නිසා මේ මොහොතේ අරමුදල පිහිටුවීමෙන් ජනතාවට ක්ෂණික සහනයක් ලබා දෙන්න හැකියාවක් නෑ.

මේ මොහොතේ කළ යුත්තේ වහාම ශ්‍රී ලංකාවට මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමයි. මංගලගේ මිල සූත්‍රය පිලිබඳ විවේචනය කරලා දැන් මිල සූත්‍රයක් යෝජනා කරන්නේ ඇයි කියලා සමහරු අපෙන් අහනවා. මංගලගේ මිල සූත්‍රය පිලිබඳ අපට ප්‍රධාන විවේචන දෙකක් තිබුණා. එකක් තමයි එහි විනිවිද භාවයක් නොතිබීම.

මාසෙකට සැරයක් ඉන්ධන මිල අච්චරකින් වැඩිකරනවා මෙච්චරකින් අඩුකරණවා කිව්වත් ඒක හදන විදිහක් දන්නේ නෑ. ලෝක වෙලඳපොලේ මිල පහළ යන කොට පහළ යන මට්ටමින්ම මිල අඩු කිරීම සිදු වන්නේ නෑ. ජනතාවට මේක දැනගන්න අයිතියක් තියෙන නිසා අපි ඉල්ලුවා මිල සූත්‍රය ප්‍රසිද්ධ කරණ්න කියලා. ඒක කළේ නෑ. ඒපාර අපි තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මිල සූත්‍රය ඉල්ලුවා. ඒකට ප්‍රතිචාරයක් විධියට තමයි වී1+වී2+වී3+වී4 = එම් ආර් පී කියන සූත්‍රය ඉදිරිපත් කලේ. නමුත් ඒක හැදෙන විධිය ඉදිරිපත් කලේ නෑ.

දෙවැනි කාරණය තමයි ලංකාවට වඩාත් ගැලපෙන්නේ මිල සූත්‍රයකට වඩා මිල ස්ථායිකරණ අරමුදලක් වීම. ලෝක වෙලඳපොලේ මිල වැඩි වන ආකාරයෙන් මිල වැඩි කලාම රටේ දුප්පත් ජනතාවට ඉන්ධන මිල දරා ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම ඉන්ධන මිල වැඩි වීම සෑම ක්ෂේත්‍රයකටම මිල වැඩිවීමකට බලපානවා. නිරතුරුව ඉන්ධන මිල වෙනස්වීම පුංචි ලාභයක් තබා ගෙන සිදු කරන කර්මාන්ත වලටත් බලපානවා. ශ්‍රී ලංකාව වැනි දුප්පත් ජනතාවක් සිටින රටක කුඩා ලාභ ප්‍රතිශතයක් ඇති කර්මාන්ත කරගෙන යන රටකට වඩාත් ගැලපෙන්නේ මිල සූත්‍රයකට වඩා මිල ස්ථායීකරණ අරමුදලයි.

මිල ස්ථායීකරණ අරමුදලක් තිබෙන විට මිල නිරතුරුව වෙනස් නොවන නිසා ඉන්ධන මිලෙන් නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් පීඩාවට පත් වන්නේ නෑ.

සරලව කිව්වොත් ශ්‍රී ලංකාවට වඩාත් ගැලපෙන්නේ මිල ස්ථායිකරණ අරමුදලයි. මුකුත් නොකර ඉන්නවාට වඩා අඩුම ගණනේ මිල සූත්‍රයක් තිබෙන එක රටට වාසිදායකයි.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සාලිය වික්‍රමසූරිය ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම යන මහත්වරුන් ද එක්විය.

More articles

Latest article