29 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ රාජකාරි අරඹයි

Must read

අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කළ හිටපු ඇමැති මහින්ද සමරසිංහ මහතා නව ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. වොෂිංටනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඒ මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

වසර 27ක පමණ කාලයක් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කර තිබෙන මහින්ද සමරසිංහ මහතා පසුගිය නොවැම්බර් මස 25 දා සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව මෙලෙස ඉල්ලා අස්වී තිබෙන අතර ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කෙරිණි.

චාම් උත්සවයකින් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් මහින්ද සමරසිංහ මහතා එම ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ. මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ කාර්ය මණ්ඩලයේ උණුසුම් පිළිගැනීමට ස්තූතිය පළකරන බවත් තම ධුර කාලයේ දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් කර පුළුල් කර ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවත්ය.

ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති සබඳතාව ශ්‍රී ලංකාවට අදාළ විවිධ ක්ෂේත්‍රවල ඉතා වැදගත් බව පෙන්වා දී තිබෙන තානාපතිවරයා කැපවීමෙන් මාතෘභූමියට සේවය කිරීමට තම උත්සාහය වැඩි කරන ලෙස සියලුම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවද පවසා ඇත. අමෙරිකා එක්සත් ජනපදය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සහ උනන්දුව ප්‍රවර්ධනය කිරීම සඳහා සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව සෑමවිටම නිරතව සිටීමේ වැදගත්කම ද තානාපතිවරයා අවධාරණය කර තිබේ.

මහින්ද සමරසිංහ මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා (2019 – 2020), වරාය සහ නාවික ඇමැති (2017-2019), නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමැති (2015 – 2017), මුදල් රාජ්‍ය ඇමැති (2015), වැවිලි කර්මාන්ත ඇමැති සහ මානව හිමිකම් පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත (2010-2015), ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් ඇමැති (2006 – 2010) සහ රැකියා සහ කම්කරු ඇමැති (2001-2004) ලෙස සේවය කර ඇත.

More articles

Latest article