27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජන සිදු කිරීමට සූදානම් බව පාකිස්ථානු රජය දැනුම් දෙයි

Must read

දිගුකාලීන මිත්‍රශීලී ඉතිහාසයකට හිමිකම් කියන, කළාපීය සහයෝගීතාවය සහ සාමය ආරක්ෂා කරමින් කටයුතු කරන ශ්‍රී ලංකා රජයේ සංවර්ධන කටයුතු සදහා ලබාදිය හැකි උපරිම සහයෝගීතාවය, පාකිස්තානු රජය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක් මහතා ප්‍රකාශ කරයි.

පසුගිය 06 වැනි දින පැවති පාකිස්තානු නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවක දී පාකිස්තානු මහ කොමසාරිස්වරයා මේ බව අනාවරණය කළේය.කොළඹ නගරයේ ඉදිකිරීම් ආරම්භ කර, පසුව අතරමග වැඩ නතර කර තිබෙන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත.ඒ අනුව අතරමඟ නතර වී තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විශේෂ බලයලත් නිලධාරියා වශයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පත්කර තිබේ.

මෙහිදී පසුගිය කාලයේ වැඩ ආරම්භකර අඩක් නිමකර තිබූ කොළඹ කොම්පඤ්ඤවීදීය දුම්රිය ස්ථානය අසල පිහිටි ඩෙස්ටනි (Destiny) මහල් නිවාස ඒකකයේ වැඩ නැවත ඇරඹීමට තීරණය කෙරිණ. වැඩ ආරම්භ කිරීමට තීරණය කෙරුණු ඩෙස්ටනි මහල් නිවාස ඒකකය, නිවාස 300 කින් සමන්විත වන අතර, එම නිවාස සඳහා එහි හිමිකරුවන් කලින් මුදල් ගෙවා තිබිණ.පසුගිය ආණ්ඩුව කාලයේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩා වැටීමත් සමඟ ම මෙම ව්‍යාපෘතිය ද අතරමග නතර වී තිබේ.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ සැලසුම්කළ ව්‍යාපෘති යහපාලන රජය යටතේ ක්‍රියාත්මක නොවූ බවයි.“මේ හේතුව මත ජනතාවට ලබා ගත යුතුව තිබූ බොහෝ දේවල්වලට බාධා පැමිණියා. ඒවායේ අවසන් ප්‍රතිඵලය ජනතාවට ලබා ගැනීමට කල් ගියා. අද ඒ සියල්ල නැවතත් නිසිපරිදි ක්‍රියාත්මක වෙමින් තියෙනවා. සියලු සැලසුම් සකස් කළ ආකාරයට ම ක්‍රියාත්මක වෙනකොට දැනට තියෙන සංවර්ධන අර්බුද අවසන් වෙයි. යහපාලන දේශපාලනය අපිව තාවකාලිකව පැත්තකට කළා මිසක අපි ඉවත්වුණේ නැහැ. කරගෙන ආපු වැඩ නැවතුණේ නැහැ. අද සංවර්ධනය පැත්තෙන් කළ යුතු සියලු වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා. ජනතාවට අවශ්‍ය වෙන්නේ වැඩ කරන රජයක්. අද ඒ සඳහා ජනතාව වරමක් ලබා දීලා තියෙනවා මේ රජයට. මේක ජනතාවගේ රජයක්. පසුගිය රජය කාලයේ බිඳවැටී තිබුණු සියල්ල නැවත යථා තත්වයට පත් කරන්න දැන් අපි කටයුතු කරනවා. අද රජයට හැම පැත්තකින් ම මඩ ගහනවා. අපි ඒවාට සැලෙන්නේ නැහැ. රටේ ජනතාව වෙනුවෙන් කැපවෙලා ක්‍රියා කිරීම ඊට වඩා වැදගත්. ඒ ක්‍රමය අපි අනුගමනය කරනවා.”යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය.

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ 2015 – 2016 න් පසු කාලය ඉතාමත් පීඩාකාරී, වෙහෙසකර අර්බුදකාරී කාලයක් වූ බවයි.

“අද එම පීඩාකාරී, වෙහෙසකර අර්බුදකාරී කාලය නික්ම ගිහින්. මේ රජය පෙර පැවති විශ්වාසයෙන්මයි කටයුතු කරන්නේ. එය පෙර පැවති ගමනටත් වඩා ශක්තිමත් ගමනක් බව කිව හැකියි. අර්බුදකාරී කාලයක් හැමවිටම එනවා. ඒවාට මුහුණ දීමයි ඉතාම වැදගත්. පසුගිය කාලයත් ඒ වගේමයි. සමාජය අර්බුදයන්ට ලක්වුණා. රජයක් ලෙස එයට මුහුණ දීමට තරම් අපි ශක්තිමත්. අපි එයට මුහුණ දුන්නා. කෙතරම් ප්‍රශ්න ආවත්, පීඩාවන් ආවත් ඒවා කළමණාකරනය කර ගනිමින් රජය කටයුතු කළා. කිසිවකින් පැන යන්නේ නැහැ. ඒ හැම දෙයක් දිහාම වැදගත් විදියට බලනවා. මුහුණ දෙනවා. එය අපේ පොරොන්දුවක්. අලුත් ආයෝජකයන් සොයා යාම සිදු කළ යුතුයි. එය කළ හැකි බව අපට විශ්වාසයි. අපි ඒ දෙය පෙන්නුවා. ඔබේ ව්‍යාපාරවලට ඇති වූ තත්වයන්, ගැටළු ගැන කිසිවිටෙක දුක් නොවන්න. ඒ සියලු ප්‍රශ්න අනිවාර්යෙන් ම විසඳනවා. ඒවා විසඳිය හැකි ප්‍රශ්න. ඉදිරි 2030 වසර දක්වා අපේ සැලසුම් දැන් ක්‍රියාත්මකයි.”යනුවෙන් ද මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය යනු දිගුකාලීන මිතුරන් වන බවයි.“පාකිස්ථානය හැම විට ම ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට සූදානමින් සිටිනවා. අද දින නැවත වැඩ අරඹන මෙම ඩෙස්ටනී නිවාස ව්‍යාපෘතිය සඳහා පාකිස්ථානය සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. දෙරට අතර ගණුදෙනු අතීතයේ පටන් සිදුවුණා. රටවල් දෙක අතර හැමවිට ම පැවතුණේ යහපත් සබඳතාවයන්. කළාපීය වශයෙන් ඉතාමත් හොඳ සහයෝගයක් අපි අතර තිබුණා. ශ්‍රී ලංකාව සමඟ මෙසේ එක්ව කටයුතු කරන්නට ලැබීම දෙරටට ම මහත් සතුටක්.”යනුවෙන් ද ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

ගරු ජනාධිපතිතුමා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි කාලයේ ආරම්භ කළ මෙම නිවාස සංකීර්ණයේ වැඩ අවසන් කර එහි හිමිකරුවන්ට ම ලබා දීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

“හදිසියේ ම සිදු වූ දේශාපලන වෙනස මෙම නිවාස ව්‍යාපෘතියට සම්පූර්ණවම බලපෑවා. එහි පූර්ණ ප්‍රතිඵලය වූයේ එම නිවාස හිමිකරුවන්ට නිවාස ලබා ගැනීමට තිබූ අවස්ථාව කල්යාමයි. නිවාසවලට මුදල් ගෙවා වෙන්කරගෙන සිටි ඔවුන්ට එයින් සිදු වූ පාඩුව පිරිමැසිය නොහැකියි. නමුත් මා මෙහි නිසි බලධරයා ලෙස ගරු ජනාධිපතිතුමා විසින් පත් කළේ කලින් රජයෙන් සිදු වූ එම වරද අපේ රජයෙන් නිවැරදි කිරීමටයි. ඒ අනුව, අපි පසුගිය කාලය පුරා මෙම නිවාස සංකීර්ණය යළි ඇරඹිමට විශාල වැඩ කොටසක් කළා. එහි ප්‍රතිඵලය අද අපි අත්විඳිමින් සිටිනවා. වසරක් වැනි කාලයක් ඇතුළත මෙහි පදිංචි වීමට මුදල් ගෙවූ අයට අවස්ථාව හිමිවේවි. මෙම නිවාස ව්‍යාපෘතිය ඉලක්ක කරා ගෙන යාමට අපි ඉතා පළපුරුදු කොන්ත්‍රාත්කරුවන් යොදාගෙන සිටිනවා.”යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ඩෙස්ටනි නිවාස සංකීර්ණය අක්කර 01 කින් සහ රූඩ් 01 කින් සමන්විත ඉඩමක ඉදිකර තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස වැඩ ඇරඹූ මෙය නම්කර තිබෙන්නේ ඩෙස්ටනි I සහ ඩෙස්ටනි II ලෙසයි. මෙහි සම්පූර්ණ නිවාස ගණන 876 කි. මේ වනවිට ගැනුම්කරුවන්ට ලබාදී තිබෙන නිවාස ගණන 510 කි. එය අලෙවි කර ඇත්තේ පෙර විකිණුම් පදනම යටතේයි.මේ අනුව, වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි කාලයේ දී ඉදිකිරීමට තීරණය කළ ඩෙස්ටනි නිවාස සංකීර්ණ නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු, යහපාලන රජය කාලය තුළ ක්‍රියාත්මක නොවීමෙන් ඇතිවූ සියලු අර්බුදකාරි තත්වයන් ඉදිරියේදී මඟ හැරී යනු ඇත.

මෙම සාකච්ඡාව සඳහා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායකල MAGA ඉදිකිරීම් ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ කපිතාන් එම්.බී. කුලරත්න, එක්ස්පෝ ග්‍රාන්ට් ව්‍යාපෘතියේ කළමණාකාර අධ්‍යක්ෂක ජොනී ප්‍රනාන්දු පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ඇතුළු තවත් පිරිසක් ද සහභාගිවී සිටියහ.

More articles

Latest article