27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

කාලගුණ විපර්යාසවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට එජා සංවිධානය උපරිම සහාය දෙනවා – එ.ජා සහකාර මහලේකම්

Must read

කාලගුණ විපර්යාසවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට එක්සත් ජාතින්ගේ සංවිධානය හා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහන යටතේ උපරිම සහයෝගය දෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය පැවැසුවාය.

විග්නරාජා මහත්මිය මේ බව පැවැසුවේ පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය අතර එම අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදීය.

විග්නරාජා මහත්මිය එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහකාර මහ ලේකම්වරිය වන අතරම ආසියා හා පැසිෆික් කලාපීය කාර්යාංශයේ (RBAP) අධ්‍යක්ෂවරියද වෙයි. එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහනේද ඇය ඉහළ තනතුරක් හොබවන්නීය. පසුගිය මාසයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැති COP 26 සමුළුවේ දී දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධව සාකච්ඡා කිරීමට මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී අදහස් පළ කළ සහකාර මහලේකම්වරිය දේශගුණික විපර්යාස නිසා ඇති වන තත්ත්වයන් පාලනය කළ යුත්තේ වර්තමාන පරම්පරාව ගැන සිතා පමණක් නොව රටේ අනාගත පරම්පරාව ගැන ද සලකා බලමින් යැයි කීවාය.

එමෙන්ම ඇය නියෝජනය කරන එක්සත් ජාතින්ගේ සංවිධානය මෙන්ම එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහන අනුව ශ්‍රී ලංකාවට දිය හැකි සහයෝගය දෙන බව ඇය කීවාය. දැනට එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉහළම තනතුරක් හොබවන එකම ශ්‍රී ලාංකිකයා වශයෙන්, එක්සත් ජාතින්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අප රටට ආඩම්බරයක් යැයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී පැවසීය.

More articles

Latest article