25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

වාලච්චේනෛ ඉදි වූ පළමු දෙමළ මාධ්‍ය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට

Must read

ආබාධිත තරුණ තරුණියන් සඳහා වන පළමු දෙමළ මාධ්‍ය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නැඟෙනහිර පළාතේ වාලච්චේනෛ දී සිසු අයිතියට පැවරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධිත තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔප්නැංවීම සඳහා ආරම්භ කර ඇති 09 වැනි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙයයි.

මෙහි සංකල්පීය අදහස හිටපු සමාජ සේවා ඇමැති එස්. බී. දිසානායක මහතා විසින් 2017දී ඉදිරිපත් කර ඇති අතර, හිටපු සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රදීප් යසරත්න මහතා ඊට මැදිහත්ව තිබේ. රුපියල් මිලියන 141ක් වැය කර ඉදිකර ඇති මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කාන්තා පිරිමි නේවාසිකාගාරවලින් ද යුක්ත අතර, පාඨමාලා පැවැත්වීමට පහසුකම් සහිත පන්ති කාමර පද්ධතියකින් ද ඇත. මූලික අදියරේදී ඇඳුම් මැසීමේ පාඨමාලාව සහ ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා සිසු සිසුවියන් 40 දෙනකු තෝරාගෙන ඇත. මේ සඳහා අවශ්‍ය උපකරණ චයිල්ඩ් ෆන්ඩ් ආයතනයෙන් දී ඇත. විවිධ ආබාධ සහිත වයස අවුරුදු 16ත් 35ත් අතර අවිවාහක තරුණ තරුණියන්ට මෙහි පාඨමාලා හැදෑරිය හැකි අතර, ඒ සඳහා නේවාසික පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ආහාරපාන, වෛද්‍ය පහසුකම්, දෛනික පැමිණීමේ දීමනාවක් සහ පුහුණුව අවසානයේ මෙවලම් කට්ටලයක් සමඟ වටිනා සහතිකයක් අභ්‍යාසලාභීන්ට පිරිනැමීමට නියමිතය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිනිය මෙසේ ද කීවාය.

“කොතැන සිටියත් තමන්ගේ සම්පූර්ණ සංවර්ධන විභවය පුරවැසියෙක් ලෙස සම්පූර්ණ වශයෙන් දායාද කළ නොහැකිවීම ආබාධිත බව යනුවෙන් හැඳින්වෙනවා. ආබාධිත තත්ත්වය ගත් විට එය ලංකාවේ කොතැන සිටියත් එක සමාන නිසා ආබාධිත දරුවන්ට රජයක් ලෙස වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන විවෘත කරමින් සිටිනවා. වෘත්තීය පුහුණු වැඩසටහන් ඉතාම වැදගත්. ඔවුන්ව කිසියම් වෘත්තියකට හුරු කිරීමෙන් ගෞරවනීය පුරවැසියකු ලෙස ජීවත්වීමට කිසියම් ආර්ථික සවිබල ගැන්වීමක් එක්ක හැකියාව ලැබෙනවා.”

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාකරන්, වාලච්චේනෛ ප්‍රාදේශීය සභාවේ සභාපති සෝබා ජනරංජනී, සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි, චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ නාලක සිරිවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

More articles

Latest article