30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ආසියානු කුසලාන කාන්තා තරග බිමට ශ්‍රී ලංකාවෙන් නිලධාරිනියන් 3ක්

Must read

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ දස්කම් පෑ හිටපු ක්‍රීඩිකාවන් තිදෙනකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරියක සහ විනිසුරුවරියන් ලෙස නම් කර ඇත.

ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන වැනේසා ද සිල්වා තීරකවරියක් ලෙස සහ ජාතික පිල නියෝජනය කළ හිටපු ක්‍රීඩිකා දේදුනු ද සිල්වා සහ කාන්තා ‘ඒ‘ පිලේ හිටපු ක්‍රීඩිකාවක වන නිමාලි පෙරේරා විනිසුරුවරියන් ලෙසත් එක් කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

ලබන මස 1 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේදී මේ තිදෙනා නිල රාජකාරියේ නිරතවනු ඇත.

දේදුනු ද සිල්වා සහ නිමාලි පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තුන්වැනි තලයේ විනිසුරුවරියෝ වෙති. පළපුරුදු තරග තීරකවරියක වන වැනේසා මීට පෙර දේශීය තරග බිමේදී තීරකවරියක ලෙස කටයුතු කර තිබේ.

ඉන්දියාවේ ජනනි නාරායන්, රින්දා රතී, ජී.එස්. ලක්ෂ්මි සහ ශිවානි මිෂ්රා ආසියා ක්‍රිකට් කලාපයෙන් අයිසීසී තරග තීරකවරියන්ගේ සහ විනිසුරුවරියන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී සිටින බව වාර්තා වේ.

ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගවලට අමතරව පිරිමි ක්‍රිකට් තරගවලදී ද කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසී තිබේ.

More articles

Latest article