29 C
Colombo
බදාදා, මැයි 22, 2024

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමට ලක්ෂ 440ක් මුදාහරී

Must read

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඊයේ (12) දිනය වන විට රුපියල් ලක්ෂ 440ක මුදලක් ආණ්ඩුව විසින් මුදාහැර තිබේ.

පිසූ ආහාර සඳහා දුන් රුපියල් ලක්ෂ 65ක වියදම් සහ නිවෙස් හානි අත්තිකාරම් සඳහා දුන් රුපියල් ලක්ෂ 170ක මුදලක්ද මෙයට ඇතුළත් වේ. මේ ලක්ෂ 440ක මුදල ඉකුත් 20 දා සිට ඊයේ (12) වන තෙක් පැවති ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් මුදා හැර තිබෙන අතර, රට පුරා සිදුව ඇති ආපදා හානි සම්බන්ධයෙන් සොයා බලා ඇස්තමේන්තු කළ පසු අවශ්‍ය ඉතිරි මුදල් ද අදාළ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට නියමිතය.

අපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන මේ වන විට කඩිනම් ක්‍රියා මාර්ග ගනිමින් සිටින අතර, පසුගිය 29 දා සිට ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල, නුවරඑළිය, මාතලේ, ගම්පහ, කොළඹ, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුරය, යාපනය, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 150ක ජන ජීවිතයට හා දේපොළවලට හානි වී තිබේ. මේ වන විට පැවති ගංවතුර තත්ත්වය පහව යමින් තිබෙන බවත් ආපදා තර්ජනයට ලක් වූ සියලු ප්‍රදේශ යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය.

දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් අද (13) දිනයේ ඇති වේයැයි අපේක්ෂා කරන බවත් එබැවින් දිවයිනට නැඟෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව කටයුතු කරන ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

More articles

Latest article