33 C
Colombo
බදාදා, මැයි 31, 2023

දළදා වහන්සේට අපහාස කළ සැමට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අමාත්‍ය විජයදාස රාජපක්ෂ

Must read

දළදා වහන්සේට අපහාස කිරීමේ සිදුවීම හා සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අධිකරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට අකැමැති දූෂිත පිරිස් සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව මෙවැනි කටයුතු සිදු කරන බවත්, මෙවැනි තැනැත්තන් විසින් සමාජය ගිනි තබන්නට උත්සාහ කරනවා නම් එවැනි ක්‍රියාවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් අධිකරණ ඇමැතිවරයා මෙහිදී පැවසීය.

යම් ආගමික විශ්වාසයකට යම් තැනැත්තකු අපහාස කරන්නේ නම් ඒ ලබ්ධිය විශ්වාස කරන අයගේ හදවත් පෑරෙන ලෙස කටයුතු කරන්නේ නම්, දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ එය වරදක් ලෙස සඳහන් වන බවද එය වසර දහයක් වුව සිර දඬුවම් නියම කළ හැකි වරදක් බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ දළදා වහන්සේට අපහාස වන අයුරින් සිදු කරන කටයුතු වහා නතර කරන ලෙසටත් එවැනි තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් පක්ෂ-විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම පළ කළ අදහස්වලට පිළිතුරු දෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණඇමැතිවරයා මෙසේද පැවසීය.

“දළදා වහන්සේ කියන්නේ සමස්ත බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ. එයට අපහාස උපහාස කරන්න කාටවත් අයිතියක් නැහැ. මීට පෙරත් ඔබ්සවර් පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයකු ඔය වගේ කතාවක් එම පුවත්පතේ පළ කිරීම නිසා 2003 වසරේදී මම කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ඔහු තනතුරින් නෙරපුවා. ඉන් පසුව ඔහු අධිකරණයේ සහාය පැතුවා. අප ගත් තීන්දුව නිවැරදියි කියලා අධිකරණය සනාථ කළා. ඒ වගේම මේ රටේ දේශපාලකයන්ට වඩා ජනතාව ඉදිරියට ගොස් මේ වන විට ජාති ආගම් ලෙස සංහිඳියාවක් ඇති වී තිබෙනවා. මේ රටේ සියලු ආගම් පදනම් වී තිබෙන්නේ අහිංසාව හා අන්‍යයන්ට ගරු කිරීම මත.

“සේපාල් අමරසිංහ නම් තැනැන්තතකු ම්ලේච්ඡ ලෙස අපහාස කර තිබෙනවා. ශ්‍රී දළදා වහන්සේ කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ. ඒ නිසා ශ්‍රී දළදා වහන්සේට අපහාස උපහාස කරන්න මේ ලෝකේ කාටවත්ම අයිතියක් නෑ. පහුගිය දිනවල මේ සමාජ මාධ්‍ය ඔස්සේ සේපාල් අමරසිංහ නමැත්‍තා ඉතාමත් ම්ලේච්ඡ විධියට ඉතාමත්ම නින්දිත විදියට දළදා වහන්සේට අපහාස කිරීම නිසා අද ගෞරවනීය මහා සංඝරත්නයේත් බෞද්ධ ජනතාව වන අපේත් හිත් සෑහෙන්න පෑරිලා තියෙන්නේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට අයිතියක් තියෙනවා ඔහු මිථ්‍යාදෘෂ්ටිකයකු කියලා ඔහුට කියාගන්න. ඒකට අප විරුද්ධ වෙන්නේ නෑ. ඔහු හිතනවා නම් ඔහු මන්ධබුද්ධිකයකු කියලා, ඒ අයිතියත් අප දෙනවා. ඒකට අප බාධා කරන්නේ නෑ. දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ එය දණ්ඩනීය වරදක්. එයට වසර 10ක් වුණත් සිරගත කරන්න පුළුවන් වරදක්. ආණ්ඩුවක් විදියට පැහැදිලිව කියනවා මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්න හදන මේ තැනැත්තාට එරෙහිව අප නීතිය ක්‍රියාත්මක කරනවා.

“ඒ වගේම මෙම සිදුවීම නැවත රට ලේ විලකට ගෙනයන්න පුළුවන් කාරණයක්. පාකිසතානයේ ශ්‍රී ලාංකිකයකු මැරුවා. ඔහුට එරෙහිව තිබූ චෝදනාවක් වුණේ ආගම විවේචනය කළාය කියන එක. ඒත් ඉම්රාන් ඛාන් අගමැතිවරයා හරියට නීතිය ක්‍රියාත්මක කළා. එක මිනිහෙකුට දෙන්නෙකුට පුළුවන් රටක් ගිනි තියන්න. ආගමික මතවාද කියන ඒවා එතරම්ම සංවේදියි. වගකීමෙන් තොර මේ මිනිස්සු මේ සමාජය නැවතත් ගිනි තියන්න උත්සාහ කරනවා නම් අප ඒ වෙනුවෙන් උපරිම දඬුවම් දීම සඳහා නීතිය ක්‍රියාත්මක කරනවා. අප පිළිගත යුතුයි, අද සමාජය ජාති ආගම් භේදයකින් තොරව ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ රටේ අතිබහුතර ජනතාව රට ඉදිරියට ගෙන යා යුතුයි යන මතයේ සිටිනවා. ඒ වගේම සංහිඳියා ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙනයනවා. උතුරේ පීඩනයට පත් වෙලා සිටි ද්‍රවිඩ ජනතාව සමඟ පවා එක් වෙලා සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයනවා.“

More articles

Latest article