24 C
Colombo
ඉරිදා, ඔක්තෝබර් 1, 2023

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා නිසා මියගිය ගණන 4ක් දක්වා ඉහළට

Must read

දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා නිසා මියගිය ගණන 4ක් දක්වා ඉහළගොස් තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 5,465කට අයත් පුද්ගලයින් 20,018කට වැඩි පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බවය.

කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, ගාල්ල සහ මාතර යන දිසත්‍රික්කවල ජනතාව එලෙස පීඩාවට පත්ව ඇත.

හානි සිදුව ඇති නිවාස ගණන 250කි. 

කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංගා සහ මහ ඔය හා අත්තනගලු ඔය මේ වනවිටත් පිටාර ගලමින් පවතී. 

කැලණි ගඟේ ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වැසි සමග  කැලණිය හා ඒ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, පෑලියගොඩ, කැලණිය, කොහිලවත්ත සහ බියගම ජනතාවටය. 

කැලණි ගග පිටාර ගැලීම නිසා හංවැල්ල සීවලීවත්ත ප්‍රදේශයේ පදිංචි පවුල් 100කට ආසන්න පිරිසක් ද මේ වනවිට අවතැන් වී ඇත. 

එම පිරිස හංවැල්ල මායාදුන්න මහා විද්‍යාලයේ රැඳී සිටී.

ඊයේ (14) රාත්‍රි 7.00 පමණ සිට සම්පූර්ණ ගම්මානයම ජලයෙන් යටවූ බව ප්‍රදේශවාසීන් පවසයි.

ගිං ගඟ පිටාර ගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම ඇතුළු ප්‍රදේශ කිහිපයක පහත්බිම් ජලයෙන් යටවී ඇත.

එමෙන්ම බද්දේගම – උඩුගම මාර්ගය, බද්දේගම – දොඩංගොඩ මාර්ගය සහ බද්දේගම – හික්කඩුව පැරණි මාර්ගය ද ජලයෙන් යටවී පවතී. 

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කුකුලේ ගඟ පිටාර ගලමින් පවතින බවද වාර්තා වේ.

මේ හේතුවෙන් බුලත්සිංහල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවද වාර්තා වේ.

මේ අතර ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වාර්ෂාවෙන් පස්යාල රණවිරු ගම ප්‍රදේශයේ නිවසක පැති බැම්මක් නාය ගොස් තිබුණි.

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. 

මේ අතර ගලේවෙල, මීවලපතහ ප්‍රදේශයේ මලව ඔයේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ඊයේ පස්වරුවේ අදාළ පුද්ගලයා දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 54 හැවිරිදි තලකිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

More articles

Latest article