32 C
Colombo
ඉරිදා, අප්‍රේල් 28, 2024

පිළිකා කාරක පොල් තෙල් බහාලුම් 6ක් මැලේසියාවට

Must read

පිළිකා කාරක අන්තර්ගත බවට තහවුරු වූ පොල් තෙල් බහාලුම් 13න් 06ක් එළැඹෙන 13 වනදා මැලේසියාවට ප්‍රතිඅපනයනය කරන බව රේගුව පවසයි.

ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අන්තර්ගත බවට තහවුරු වූ පොල්තෙල් මෙට්‍රික්ටොන් 105ක තොගයක් ප්‍රතිඅපනයනය සඳහා රේගුව, කොළඹ වරායේ SAGT පර්යන්තය වෙත මේ වනවිට යොමුකර තිබේ.

මෙලෙස ප්‍රතිඅපනයනය කෙරෙන්නේ කටාන රිෆයිනරීස් සමාගමට අයත් පොල්තෙල් අඩංගු බහාලුම් 6යි.

රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ, “ලබන 13 වැනිදා මැලේසියාවට යවනවා. ආපු තොගයම යවන බවට සහතික වනවා. ප්‍රතික්ෂේප වුණු පොල් තෙල්ම ප්‍රතිඅපනයනය වෙනවා කියන එක අපි සහතික වෙනවා,” යනුවෙනි.

අලි බ්‍රදර්ස් පෞද්ගලික සමාගම බහාලුම් 04ක් ගෙන්වා තිබූ අතර ඒවායේ අන්තර්ගත පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 1513.7කි.

එමෙන්ම එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම තවත් බහාලුම් 03ක ගෙන්වා තිබූ පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 230කි.

ඒ අනුව සමස්ත බහාලුම් 13න් තවත් බහාලුම් 07ක් ප්‍රතිඅපනයනයට යොමු කළ යුතුව තිබේ.

පසුගියදා දංකොටුවෙන් සොයාගත් පොල්තෙල් බවුසර දෙකේ තෙල් සාම්පල පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නොමැති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේය.

මේ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ආනයනය කරන වෙනත් සමාගම් ඇත්නම් ඒවා පිළිබඳ විස්තර ලබාදෙන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පසුගිය 05 වැනිදා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කර තිබුණි.

දිනක් තුළ එම විස්තර ලබාදෙන බවට ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා දැනුම් දී තිබූ අතර ඒ අනුව එම තොරතුරු ලබාගැනීමට මන්ත්‍රීවරයා පැමිණ තිබුණද ඔහුට එම තොරතුරු ලබාදී නොමැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා පැවසුවේ “මිනිස්සු බය වෙලා ඉන්නේ. ඒකට මේ ෆයිල් යව යව ඉඳලා හරියන්නේ නෑ.” යනුවෙනි.

මේ අතර ආනයනික පාම් ඔයිල් සම්බන්ධයෙන් වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද අද මෙලෙස අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ,

“පිටරටවල හෝටල්වල තෙලුත් ගෙන්වනවා. මෙහේ ක්ලෝරීන් දාලා සුද්ද කරනවා. ඒවායේ අහිතකර සංඝටක තිබෙනවා. දවසට පිළිකා රෝගීන් 78 ක් වාර්තා වෙන්නේ පරීක්ෂා කරපු පිළිකා රෝගීන්. හොයා ගන්න බැරුව තව 1000ක් ඇති සමාජය තුළ. පරීක්ෂා නොකරපු තව කොච්චර ඇද්ද? දේශීය පොල්තෙල්වලට පොල් හිඟයක් තියෙනවා. දේශීය නිෂ්පාදකයින්ව මාෆියාවකින් විනාශ කරනවා. දේශපාලන හා නිලධාරී මාෆියාවට උදව් කරනවා.”

More articles

Latest article