30 C
Colombo
ඉරිදා, අප්‍රේල් 28, 2024

වියදම් අවම කරමින් අභිමානවත්ව නිදහස සමරන්න – ජනපති

Must read

හැත්තෑ පස් වන නිදහස් දින සමරු උත්සවය සඳහා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර වියදම් අවම කරගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට ඊයේ (26) උපදෙස් දුන්නේය.

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ (26) පෙරවරුවේ පැවැති පූර්ව සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගි විය.

75 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමීව ජනවාරි 02 දා සිට 19 වන දා දක්වා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. විශේෂ දළදා පූජාව හා මහ පිරිත් දේශනාව, සර්ව ආගමික වතාවත්, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය, ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන සාම්ප්‍රදායික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය, මහජනතාවට නොමිලේ ජාතික උද්‍යාන හා ජාතික සත්වෝද්‍යාන ප්‍රදර්ශනය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම, මහනුවර ජනරජ පෙරහර, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහස් පාපැදි සවාරිය පැවැත්වීම ආදී විශේෂ වැඩසටහන් පැවැත්වීමට සූදානම් කර තිබේ.

මේ සඳහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තුගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බවත් ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ දැවැන්ත විරෝධයක් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ කෙරෙහි ද දැඩි අවධානය යොමු කරමින් අදාළ වියදම් අවම කර ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

Òඅපේ හැත්තෑපස් වන නිදහස් දිනය සැමරිය යුතුයි. අප එය සිදු නොකළහොත් අපට නිදහස් සැමරුමක්වත් පවත්වන්න බැහැ කියලා ලෝකය කියයි. ඒ වගේම අපිට සංචාරකයන් වගේම ආයෝජකයන් කැඳවා ගැනීමට අවශ්‍යයි. අපේ රට ගැන හොඳ ප්‍රතිරූපයක් ගොඩනඟන්න ඕන. ඒ නිසා වියදම් උපරිමයෙන් සීමා කර, අප මේ නිදහස් දිනය සමරමු.”

නිදහස් දින සැමරුමට සමගාමීව නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඩුබායිවල පැවැත්වෙන දේශගුණික සමුළුට (COP28) සහභාගිවීමට පෙර අප එහි කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම නව ආයතන කිහිපයක් ආරම්භ කිරීමටත් නියමිතයි. ඊට අදාළ නීති සම්මත කරගෙන වැඩකටයුතු ආරම්භ කරන විට අගෝස්තු මාසය පමණ විය හැකියි. ඒ වගේම රටට දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලැබෙන දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. කොහොමටත් මේ කටයුතු සඳහා මුළුමනින්ම වියදම් කිරීමට මහා භාණ්ඩාගාරයට මුදල් නැහැ. ඒ නිසා අනෙකුත් කටයුතු ගැන අවධානය යොමු කරන්න වෙන්නේ ප්‍රධාන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම සිදු කරන ගමන්මයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන, ආරක්ෂක, විදේශ කටයුතු, අධ්‍යාපන, බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු, ජනමාධ්‍ය, මුදල් යන අමාත්‍යාංශවල ලේකම්වරු සහ මහා භාණ්ඩාගාරය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

More articles

Latest article