27 C
Colombo
සඳුදා, අප්‍රේල් 29, 2024

දළදා පෙරහරෙන් ලොවට කියන්නේ අපේ රටේ අභිමානයයි – දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

Must read

මහනුවර ඇසළ පෙරහරේ සියලු නර්තන උඩරටට ආවේණික ඒවායි. පහත රට හා සබරගමු සම්ප්‍රදායට අයත් කිසිදු නර්තනයක් මේ පෙරහරට එකතු කරන්නේ නැහැ. ඒක සම්ප්‍රදායක්. පාරම්පරික කලා ශිල්පීන්ගේ පවුල්වල වර්තමාන පරම්පරාව මේ කලා ශිල්පවලින් ක්‍රමයෙන් ඈත් වන බව පෙනෙන්නට තිබෙනවා.

ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හිමි වන්නේ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමටය. ගිහි භාරකාරත්වය හිමි වන්නේ දියවඩන නිලමේතුමන්ටය. වසර 2005 සිට දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හොබවන ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර සංවිධානය කරනු ලබන්නේ දළදා මාලිගාවේ 18 වන ඇසළ පෙරහරයි. දළදා වහන්සේ උදෙසා සිදු කරන්නා වූ පූජෝත්සවයක් වන මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් සාර්ථකව පවත්වා අවසන් කිරීම දියවඩන නිලමේතුමන්ගේ එක් ප්‍රධාන වගකීමකි. මෙවර ඇසළ පෙරහර සංවිධානය සම්බන්ධයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මහනුවර ඇසළ පෙරහර ජාත්‍යන්තරව පවා ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ හෙළයේ විචිත්‍රවත් මහ කලා මංගල්‍යය ලෙසිනුයි. මහනුවර ඇසළ පෙරහර මෙතරම් සුවිශේෂි වන්නේ ඇයි?

ශ්‍රී දළදා සිමිඳුන් උදෙසා වාර්ෂිකව ශ්‍රී දළදා මාලිගාවේදී මංගල්‍යයන් හතරක් සිදු කරනවා. අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය ලෙස. මේ මංගල්‍යයන් අතරින් ජනතාවගේ වැඩිම අවධානය යොමු වන්නේ ඇසළ පෙරහර මංගල්‍යයටයි. වාර්ෂිකව දළදා වහන්සේ කෝට්ටේ රාජධානියෙන් දෙල්ගමුවටත් පසුව සෙංකඩගල රාජධානියටත් වැඩම කළා. දළදා වහන්සේ මහනුවරට වැඩම කිරීමට පෙර දේවාළ පෙරහර පවත්වා තිබෙන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියෝ සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට ගෙන ඒමෙන් පසු මහනුවර ඇසළ පෙරහර දේවාල පෙරහර හා එක්ව තිබෙනවා. දළදා වහන්සේ උදෙසා පෙරහර ඇතුළු පුජෝපහාර පැවැත්වීම උන්වහන්සේ මෙරටට වැඩම කළ දා පටන්ම සිදු කෙරෙනවා. එහෙම ගත්තොත් පෙරහරට අවුරුදු 1716 ක පමණ ඉතිහාසයක් තිබෙනවා. මේක දළදා වහන්සේ හා සිව් මහ දෙවිවරුන් වෙනුවෙන් කරන්නා වූ පූජෝපහාරයක්. දළදා වහන්සේ තමයි බෞද්ධයන්ට ලෝකයේ ඇති වටිනාම වස්තුව. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ තමයි දළදා වහන්සේ. මෙරට රාජ්‍යත්වයේ සංකේතය ලෙස සැලකුවේ දළදා වහන්සේයි. මේ නිසා රජවරු උන්වහන්සේ උදෙසා කරන්නා වූ පූජෝත්සව විශිෂ්ටතම අයුරින් සිදු කරන්න පියවර ගත්තා. පෙරහරට සම්බන්ධ වූ කලාකරුවන්ට රජවරු ඉඩකඩම් දීලා රාජකාරි පැවරුවා. ඒ පාරම්පරික පවුල්වල පිරිස් අදත් ඉන්නවා. දළදා මාලිගාවේ හා සතර මහ දේවාල පෙරහරට කලාකරුවන් 2000ක් පමණ සහභාගි වෙනවා. අලි අතුන් 70 ක් පමණ සම්බන්ධ කෙරෙනවා. අතීතයේ පටන් පැවත එන පෞරාණික චාරිත්‍ර ගරු කරමිනුයි මේ උත්සවය සංවිධානය කරන්නේ. දවල් පෙරහරත් සමඟ අඛන්ඩව දින 11 ක් පෙරහර වීදී සංචාරය කරනවා. මේ සියල්ල නිසා මහනුවර ඇසළ මංගල්‍යය සුවිශේෂියි.

වාණිජකරණයේ බලපෑම පෙරහරටත් එල්ල වෙනවා. පෞරණික චාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් එහි ඇති සාම්ප්‍රදායික වටිනාකම් ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම අභියෝගයක් නේ ද?

සාම්ප්‍රදායික ලක්ෂණ මතු කිරීම

ශ්‍රී ලංකාවේ ගොඩක් පෙරහර කලානුරූපීව අද වන විට විශාල වෙනස්කම්වලට ලක්ව තිබෙනවා. මහනුවර ඇසළ පෙරහර කියන්නේ අපේ අන්‍යන්‍යතාව කිව්වොත් නිවැරැදියි. මම 2005 දියවඩන නිලමේ ධුරයට පත්වෙලා මාසයක් අතුළත තමයි පෙරහර කළේ. මම වසරින් වසර පෙරහරේ සම්ප්‍රදායික ලක්ෂණ යළි මතු කරන්නත්, නර්තන ශිල්පීන්ගේ දක්ෂතාවන් වර්ධනය කරන්නත් කටයුතු කළා. රියැලිටිකරණයේ බලපෑම නුවර පෙරහරටත් එල්ල වෙනවා. ශිල්පීන් කැමතියි ආකර්ෂණය ගන්න නොයෙක් තද වර්ණ, සීක්වින්ස් වැනි දිලිසෙන දේවල් තමන්ගේ ඇඳුම්වලට එකතු කර ගන්න. මොකද රූපවාහිනි රියැලිටි වැඩසටහන්වල පෙනී ඉන්න අය ජනතා ආකර්ෂණය ගන්න මේ වගේ දේවල් පාවිච්චි කරන නිසා පෙරහරට එක් වන කලාකරුවන් ද ඒවා අනුකරණය කරන්න පෙලඹෙනවා. මම දළදා මාලිගාවේ පෙරහරට එක් වන ශිල්පීන්ට හැම විටම උපදෙස් දෙන්නේ අපි අපේ සම්ප්‍රදාය ආරක්ෂා කර ගන්න ඕනෑ කියලයි. සිව් මහා දේවාල බස්නායක නිලමේවරුත් මේ ස්ථාවරයේ සිටිමින් තමයි පෙරහර සංවිධානය කරන්නේ. ඒක මට ශක්තියක්. ශිල්පීන්ට මේ විදිහට ඇඳුම් අඳින්න කියලා අපි මොනවත් නොකර හිටියොත් වැඩේ වෙන්නේ නැහැ. මේ නිසා මම දළදා මාලිගාවේ සියලුම කලාකරුවන්ට දළදා මාලිගාවෙන් අලුත් ඇඳුම් දුන්නා. ඒ සඳහා රුපියල් ලක්ෂ 30ක් විතර වැය වුණා. මම මේවා කරන්නේ පෙරහරේ සාම්ප්‍රදායික ගුණාංග ආරක්ෂා කරන්නයි.

පසුගිය වසර තුනේදීම මේ රටේ ජනතාවට කොප්පරා පන්දම්වල උණුසුම බලමින් වීදීවලට රැස්ව පෙරහර නැරඹීමට අවස්ථාව ලැබුණේ නැහැ නේ ද?

කොවිඩ් ව්‍යාප්තියක් එක්ක පෙරහර නැරඹීට සඳහා මහජනතාවට අවස්ථාව දීමට සෞඛ්‍ය අංශ එකඟ වුණේ නැහැ.මහනුවර ඇසළ පෙරහර නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මහනුවර නගරයට එකතු වෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සපයා දුන් නිර්දේශ ඒ අනුවම ක්‍රියාත්මක කරමින් මේ ජනතාව හැසිරවීම කළ නොහැකියි. මේ නිසා තමයි සෞඛ්‍ය අංශ මඟින් දැනුම් දුන්නේ ජන සහභාගිත්වයකින් තොරව පෙරහර පවත්වන්න කියලා.

අලි ඇතුන්ගේ හිඟය

මේ වන විට කොවිඩ් අවදානමෙන් අප සෑහෙන දුරට මිදිලා ඉන්නේ. පාස්කු ප්‍රහාරය නිසා ආරක්ෂක හේතුන් මත අපි 2019 වසරේදී පෙරහර මංගල්‍යය පැවැත්වූයේ ජන සහභාගිත්වයක් නැතිවයි. ඒ නිසා පෙරහර නරඹන්න අවුරුදු තුනකට පස්සේ ජනතාවට අවස්ථාව දෙන්න මෙවර හැකි වුණා. තාමත් අපේ රටින් කොවිඩ් තුරන් වෙලා නැහැ. මේ වන විටත් රෝගීන් දෛනිකව වාර්තා වෙනවා. ඒ ගැනත් සැලකිලිමත්ව පෙරහර මංගල්‍යය නරඹන්න එන්න කියලා මම බැතිමතුන්ට කියනවා.

පෙරහරට අවශ්‍ය අලි ඇතුන්ගේ හිඟය තාමත් තිබෙනවා ද?

මේ ප්‍රශ්නය තාමත් ඒ විදිහටම තිබෙනවා. දැන් මුළු රටේම ඉන්නේ හීලෑ අලි 100ක් පමණ. දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඇත්තු නවයක් හා අලි තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය හැරුණාම පිට ඉන්නේ අලි ඇතුන් 90ක් පමණ. ශ්‍රී ලංකාවේ අලි හාම්පුත්තු ඉන්නේ 80 ක් වගේ පිරිසක්. මේ අයව ඕනෑ වෙන්නේ පෙරහර කරන නිලමේවරුන්ටයි, විහාරස්ථානවල භික්ෂූන්වහන්සේටයි. අනිත් අය මේ අලි හාම්පුත්තු දිහා බලන්නේ වපර ඇහින්. මේ අය අලි ඇතුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා.

පෙරහර සංස්කෘතිය ආරක්ෂා කරන්න උර දෙන මෙම පිරිස ගැන මෙයට වඩා අවධානයක් වගකිව යුතු අංශ විසින් දැරිය යුතුයි. කරඬුව වැඩම කරන්න දළදා මාලිගාවේ ඉන්දිරාජා ඇතා ඉන්නවා. දැනට ඒකට ඉන්න සුදුසුම ඇතා ඉන්දි රාජා. නැඳුන්ගමුවේ රාජා ඇතා මිය ගියා. කතරගම වාසනා ඇතත් කරඬුව වැඩම කරනවා. මෙවර රුහුණු කතරගම දේවාලයේ පෙරහරත් මහනුවර පෙරහරට සමගාමීව පැවැත්වෙන නිසා වාසනා මෙවර නුවර පෙරහරට සම්බන්ධ වුණේ නැහැ. 2009 අවුරුද්දේ පෙරහර 10ම එක දිගට ඉන්දි රාජා කරඬුව වැඩම කළා. මාලිගාවේ ඇත් පන්තියේ තවත් ඇතුන් කිහිප දෙනෙක් මේ කටයුත්තට ඉන්නවා. සිංහ රාජා, මියන් රාජා සහ බුරුම රාජාත් කරඬුව වැඩම කරනවා. මේ ඇත්තු වයසට යනකොට ඒ අඩුව පුරවන්න හොඳ දළ ඇත්තු නැති වුණොත් අපට ඉදිරියේදී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

මහනුවර පෙරහරේදී උඩරට වෙස් නැටුමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. අද වන විට මේ පාරම්පරික කලා ශිල්ප අභාවයට යමින් තිබීම අනාගතයේ පෙරහර පැවැත්වීමට ගැටලුවක් වේවි නේ ද?

මහනුවර ඇසළ පෙරහරේ සියලු නර්තන උඩරටට ආවේණික ඒවායි. පහත රට හා සබරගමු සම්ප්‍රදායට අයත් කිසිදු නර්තනයක් මේ පෙරහරට එකතු කරන්නේ නැහැ. ඒක සම්ප්‍රදායක්. පාරම්පරික කලා ශිල්පීන්ගේ පවුල්වල වර්තමාන පරම්පරාව මේ කලා ශිල්පවලින් ක්‍රමයෙන් ඈත් වන බව පෙනෙන්නට තිබෙනවා. ඔවුන් ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ඇති වෙනත් රැකියාවලට යොමු වෙනවා. තවත් පැත්තකින් මේවායේ අගය තේරුම් ගත් අලුත් පරම්පරාවේ තරුණයින් උඩරට වෙස් නැටුම හදාරනවා. ඔවුන් පාරම්පරික කලා පවුල්වල අය නොවෙයි. නර්තනය වසරක් දෙකක් හදාරලා වෙස් බඳින්න බැහැ. අද පාසල්වල මේක කෙරෙනවා. මම එය අනුමත කරන්නේ නැහැ. දළදා මාලිගාවේ බෞද්ධ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව උඩරට නර්තන පීඨයක් අපි ආරම්භ කළේ මේ රික්තය පිරවීමටයි.

මහනුවර ඇසළ පෙරහරට දළදා මාලිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් සම්බන්ධ වන කලාකරුවන් අතරින් විශිෂ්ටයින් තෝරා ඔවුන්ට ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පටන් අඛන්ඩව සිදු කෙරුණා. කොවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය වසර දෙකේදීම ජනාධිපති සම්මාන ප්‍රදානයක් සිදු කෙරුණේ නැහැ. මෙවර එය සිදු කිරීමට සැලසුමක් තිබෙනවා ද?

කලා ශිල්පීන් අගයමින් සම්මාන

ඔව්. මෙවර කලා ශිල්පීන් අගයමින් සම්මාන ප්‍රදානය කරනවා. පෙරහරට සම්බන්ධ වන කලා ශිල්පීන්ට ජනාධිපතිතුමන් අතින් ලබන මේ සම්මානය ඉතා වටිනවා. පෙරහරට සම්බන්ධ වන ශිල්පීන්ගේ කුසලතා නිරීක්ෂණය කිරීමට කණ්ඩායමක් යොදවනවා. ඔවුන් ස්ථාන කිහිපයක සිට ශිල්පීන්ගේ කුසලතා සඳහා ලකුණු දීමක් කරනවා. මේ වැඩපිළිවෙළ දියත් කරන්නේ පෙරහර භාරය මඟින්.

කුමන ආකාරයේ බාධා පැමිණියත් පෙරහර මංගල්‍යය පැවැත්වීම අඛණ්ඩව සිදු කරනවා නේ ද?

රජ දවස පටන් පෙරහර චාරිත්‍ර නියම ලෙස ඉටු කරමින් පෙරහර මංගල්‍යය පවත්වා තිබෙනවා. මා කලින් කියූ ලෙස මේක වාර්ෂිකව දළදා මාලිගාවේ සිදු කරන ප්‍රධාන මංගල්‍යයන් හතරෙන් එකක්. පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ආරක්ෂක හේතුන් මත පෙරහර නරඹන්න ජනතාවට අවස්ථාව දුන්නේ නැහැ. කොවිඩ් නිසාත් මේ තත්ත්වයම ඇති වුණා. ජන සහභාගීත්වයක් නැතුව පෙරහර වීදී සංචාරය කළා. එල්.ටී.ටී.ඊ තර්ජන පැවැති සමයේත් පෙරහර නතර කළේ නැහැ. මේක දළදා හාමුදුරුවන් හා සිව් මහා දෙවිවරුන් වෙනුවෙන් කරන පූජෝපහාරයක්. උඩරට නර්තන පරම්පරාවල සාමාජිකයින් දහස් ගණනක් සහභාගි වෙනවා. අලි ඇතුන් හැට හැත්තෑවක් පෙරහරේ ගමන් කරනවා.

ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේම අවධානය පෙරහර මංගල්‍යයට යොමු වෙනවා. අපේ රටට සංචාරක ආකර්ෂණය ගන්නත් පෙරහර හේතු වෙනවා. පෙරහර බලන්න ජනතාව දහස් ගණනින් එනවා. මේවා මාධ්‍ය මඟින් දැක්කාම රට සාමකාමියි, රෝග බියෙන් තොරයි කියන පණිවිඩයත් ලෝකයට යනවා.

මහනුවර ඇසළ පෙරහරට රජයේ දායකත්වය ලැබෙන්නේ කොහොම ද?

රාජ්‍ය උත්සවයක් ලෙසයි මහනුවර ඇසළ පෙරහර ගැසට් කරලා තිබෙන්නේ. මේ වෙනුවෙන් රජය විශාල පිරිවැයක් දරනවා. පොලිසියේ 4000ක් පමණ ආරක්ෂාව වෙනුවෙන් යොදවනවා. මෙයට අමතරව ප්‍රවාහනය, ජල විදුලිය, දුරකථන ආදි සියලු ක්ෂේත්‍රවලට අදාළ පහසුකම් රජය විසින් ඒ ඒ ආයතන හරහා සපයා දෙනවා. නගරය පිරිසුදු කිරීම ඇතුළු අංශ ගණනාවක් මහනුවර නගර සභාව මඟින් සිදු කරනවා.

අසේල කුරුළුවංශ – දිනමිණ

More articles

Latest article