29 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

රට ගොඩනගන විද්‍යාත්මක සැලසුම් දහයක් අපට තියෙනවා – අනුර කුමාර

Must read

රට ගොඩනගන විද්‍යාත්මක සැලසුම් දහයක් තමන් සතු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

අපේ රට අනාගතයේදී ණය උගුලක හිරවෙන බව වසර ගණනාවක් තිස්සේ කිව්වා. නමුත් වෙනසක් සිදුවුණේ නැහැ. අපට වුවමනා වුණාට ඒ වෙනස සිදුවන්නේ නැහැ. දැන් ඒ වෙනස සඳහා අවශ්‍ය සියලු‍ම සාධක සම්පූර්ණ වී තිබෙනවා.

පැරණි දේශපාලන කඳවුරු අවතැන්භාවයට පත්වෙලා තිබෙනවා. අද පොහොට්ටුව නමින් හඳුන්වන දේශපාලන ව්‍යාපාරයේ නායකයෙක් හැටියට බැසිල් රාජපක්ෂ ගේන්න හැදුවා. එයා නායකයා හැටියට ජනතාව නොවෙයි පක්ෂවත් පිළිගන්නේ නැහැ. පොහොට්ටුව කියන ව්‍යාපාරය අද අවසන්. නාමල් කියනවා අධ්‍යාත්මික නායකයා මහින්ද. මේ වෙලාවේ නායකයා රනිල් කියලා.

රනිල් එක්ක බැරි බවත්, දිනන නායකයා සජිත් බවත් කීවා. 2019දී වේදිකාවට නගින කොට සජිත් ප්‍රේමදාස ගැන කවුරුත් දන්නේ නැහැ. දැන් තව දුරටත් සජිත්ගේ සජබය කියන ව්‍යාපාරය ජනතාව තෝරා ගන්නා එකක් නොවෙයි. ඊළඟට රනිල් වික්‍රමසිංහ 2015 මහ මැතිවරණයේදී ලංකාවේ වැඩිම මනාප ගත් රනිල් වික්‍රමසිංහට 2020 දී පාර්ලිමේන්තුවට එන්නත් බැරි වුණා. අද පොහොට්ටුවේ කට්ටියගේ ගලවා ගැනීමේ නියෝජිතයා හැටියට ජනතා බලයක් නැති රනිල් වික්‍රමසිංහ පත්වී සිටිනවා.

අද ලංකාවේ පරිවර්තනයකට අවශ්‍ය දොරටු විවෘත දැක්මක් සහිත, සංවිධාන ශක්තියක් සහිත ජාතික ජන බලවේගය ඉදිරියටම ඇවිත් තිබෙනවා. 2019දී ගත්තොත් රාජපක්ෂලා ඉන්නවා, සජිත්ලා ඉන්නවා අපිත් යාන්තම් ඉන්නවා. එදා ඉඳලාම අපට වුවමනාව තිබුණාට ධෛර්යය තිබුණාට මේ පරිවර්තනය සිදුවෙන්නේ නැහැ. අර කඳවුරු බලවත් වී සිටීම නිසා. නමුත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රට හපයක් බවට පත්කළ පක්ෂ දෙකම හාන්සි වී ජාතික ජන බලය ප්‍රබල වී, ශක්තිමත් වී ජනතාව වැළඳගනිමින් සිටිනවා.

මේ රටේ තරුණයන්ට සියලු‍ බලාපොරොත්තු කඩකර රට අත්හැර යාමට බලකෙරෙන තත්වයක් පසුගිය අවුරුදු 75 පුරාම මේ රටේ සිටි පාලකයන් සංවර්ධනයේ නාමයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා. ආර්ථිකය බංකොලොත් කර, ඔය පාලක කණ්ඩායම්වලට ආර්ථිකය ගොඩගන්නා බව කරන ප්‍රකාශ තව දුරටත් ජනතාව පිළිගන්නේ නැහැ. රනිල් රට ගොඩගනී කියා හිතපු අයත් දැන් එයා කිසිවක් නොකරන බව තේරුම් ගනිමින් ඉන්නවා.

පසුගිය මාස 15ක් පුරා විදේශ ණය නොගෙවීමෙන් ඩොලර් බිලියන 4.5ක් ඉතිරි කරගෙන තිබෙනවා. බැරිවෙලාවත් ණය ගෙව්වා නම්, තෙල්, ගෑස්, කිරිපිටි කිසිම දෙයක් නැහැ. දැන් කිරිපිටි අලෙවිය 53%කින්, සීනි අලෙවිය 40%කින් අඩුවී අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවා නිර්මාණය වී තිබෙනවා. ඇඟලු‍ම් කර්මාන්තය 28%කින් කඩා වැටී ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම විනාශ වී තිබෙනවා. අපේ රට සිංගප්පූරුවක්, මැලේසියාවක්, ආසියාවේ ආශ්චර්යයක් බවට පත්කරනවා කියලා ජනතාව ජීවත් වෙන්න බැරිව රට දාලා යන තැනට පත් කළා.

මේ රටේ පාලකයන් හදපු බොරු ආර්ථිකය ගැන ජනතාව තේරුම් ගනිමින් වෙනසකට පෙළ ගැසෙමින් ඉන්නවා. ඒ වගේම පාලකයන්ට බයේ සිටි ජනතාව අයුක්තියට අසාධාරණයට එරෙහිව පාරට බැහැලා ලොකුම චණ්ඩියා හැටියට සිටි පාලකයන් පලවා හැරියා. ජනතාව අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටින මේ වෙලාවේ වෙනසක් සිද්ධ කරන්න බැරි නම් කවදා ද ඒ වෙනස කරන්නේ.

රනිල් ඉන්න ඉන්න, ජාතික සම්පත් ඔක්කෝම විකුණනවා. ඛනිජ තෙල්, විදුලි බලය, ඇතුළු සියල්ලම විකුණනවා. රනිල් විදුලි බලාගාර විතරක් නොවෙයි, ජලාශ ටිකත් විකුණනවා. ඒ ගමන් කියන්නේ 2048දී රට දියුණු වෙනවා කියලා. මෑන් ඉපදිලා තිබෙන්නේ 1949දී. 2048 වෙනකොට අවුරුදු 99යි. රට ගැන ප්‍රශ්නයක් අහන්නවත් එයා නැතිවෙයි. ඒ වෙනකොට අපිත් නැතිවෙයි. දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව ආණ්ඩු හදලා, ආණ්ඩු පෙරළලා තිබෙනවා. කිසිම සුගතියක් සිදුවී නැහැ.

මේ රටේ පළවෙනි වතාවට රටටත්, ජනතාවටත්, සෙතක් ශාන්තියක් සුගතියක් සිදුවෙන පාලනයක් පිහිටුවන්න ඕනෑ. ඒක වළක්වන්න රනිල් වික්‍රමසිංහ ඡන්දය කල්දානවා. ප්‍රතිත්‍රස්ත පනත, මාධ්‍ය මර්දනය පනත්, වගේ මර්දන පනත් ගේන්න උත්සාහ කරනවා. මාධ්‍ය නියාමනය කරන්න ඕනෑ. නැත්නම් නයි ගේන අය වගේ බොහෝ දේවල් කරනවා. නමුත් රනිල් ලැහැස්ති වෙන්නේ ජාතික ආර්ථිකයට බලපාන කරුණු වාර්තාකරනයත් නවත්වන්නයි. දැන ගැනීමේ අයිතිය වාර්තා කිරීමටවත් නොදී මර්දනය කරන්න යනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් රට ගොඩනඟනවා. රට ගොඩනඟන්න නම් පාලකයන් කැපකිරීම් කරන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා වටා ඉන්න අනික් අයව ජනාධිපතිවරයා වටා එකතු කරන මහජන මුදලින් නඩත්තු කරනවා. ජාතික ජන බලවේගයේ පත්වෙන ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් නැත. ලයිට් බිල්, වතුර බිල්, ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබාදෙන්නේ නැත.

මේ රට හදන්න ඕනෑ කැපකිරීම් කරන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අනුවයි. හැම කෙනාටම නීතිය පොදුවේ භාවිත කරන පාලනයක් ගොඩනඟනවා. අපේ අනාගත පරම්පරාවට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් රටක් හැදුවා කියන සන්තෝෂය ලබාගත හැක්කේ ජාතික ජන බලවේගයේ අපට පමණයි. අපි සෑම දෙනාම එකතු වී මේ රට ගොඩනඟමු.

More articles

Latest article