34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කෆීර් ප්‍රහාරක ජෙට් යානා බළගණය අභිමානවත් 27 වැනි සංවත්සරය සමරයි

Must read

අප මාතෘභූමියේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමෙහිලා අතිශය වැදගත් ප්‍රහාරක මෙහෙයුම් රැසකට සක්‍රියව දායක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් ප්‍රහාරක ජෙට් යානා බළගණයේ අභිමානවත් 27 වැනි සංවත්සරය අදට (05) යෙදී තිබේ.

‘වැලි කතරේ සිංහයා‘ නමින් විරුදාවලිය ලත් කෆීර් ප්‍රහාරක ජෙට් යානාවලින් සමන්විත වූ අංක 10 බළගණය 1996 වසරේ ජනවාරි 05 දින ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් ප්‍රහාරක ජෙට් යානා 06කින් සහ වත්මන් ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහාතාද ඇතුළුව ගුවන් නියමුවන් 04 දෙනකු, ඉංජිනේරු නිලධාරීන් 04 දෙනකු හා කාර්මික ශිල්පීන් 70 දෙනකු සහිත කාර්ය මණ්ඩලයකින් ආරම්භ කරනු ලැබීය.

මෙම බළගණය සඳහා 2000 වර්ෂයේදී කෆීර් ප්‍රහාරක ජෙට් යානා 09ක් අලුතින් එකතු වීමත් සමඟ බළගණය තවත් ශක්තිමත් වී තිබෙන අතර, වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මේ බළගණයේ ගුවන් නියමුවකු, ගුවන් නියමු උපදේශකයකු මෙන්ම අණදෙන නිලධරයා වශයෙන්ද කටයුතු කර ඇත. මාතෘභූමියේ ඒකීයභාවය සුරක්‍ෂිත කරනු වස් සිය වගකීම් සහගත යුතුකම ඉටු කරලීම උදෙසා වර්ෂ ගණනාවක් මුළුල්ලේ අතිශයින්ම වැදගත් ප්‍රහාරක මෙහෙයුම් රාශියක් සිදු කිරීමට සක්‍රිය දායකත්වය මේ බළගණය වෙත ලබාදීම වෙනුවෙන් 2009 වසරේ මාර්තු 08 දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අංක 10 කෆීර් ප්‍රහාරක බළගණය වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය කළ බවද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සදහන් කරයි.

1996 වසරේ සිට ගුවන් හමුදා සක්‍රිය සේවයට එක් වූ මේ කෆීර් ප්‍රහාරක ජෙට් යානා 2006 වසරේ ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුමේ අවසානය දක්වා අඛණ්ඩ සේවය සලසමින් සිය වගකීම මාතෘභූමිය වෙනුවෙන් ඉටු කරලීමට ඇප-කැප විය. කෆීර් ප්‍රහාරක ජෙට් යානා විසින් ඉතා සියුම් භූමිගත ත්‍රස්තවාදි ඉලක්ක වෙත මෙන්ම භූමියේ හා සයුරේ ත්‍රස්තවාදි ඉලක්ක වෙතද අතිසාර්ථක අන්දමින් ප්‍රහාර එල්ල කිරීමේ සුවිශේෂ හැකියාවෙන් උපරිම පල නෙළාගනිමින් මාතෘභූමියෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ගුවන් මෙහෙයුම් රාශියක් සිදු කර තිබේ.

අංක 10 කෆීර් ප්‍රහාරක ජෙට් යානා බළගණයේ ගුවන් හා ගොඩබිම් කාර්ය මණ්ඩලයේ කැපවීම මත කෆීර් ප්‍රහාරක ජෙට් යානා 1996 වසරේ සිට 2009 වසර දක්වා ප්‍රහාරක මෙහෙයුම් 2500කට අධික ප්‍රමාණයක් සිදු කොට ඇති අතර, අනාගතයේදීද කිසිදු කලාපීය ගුවන් හමුදාවකට නොදෙවැනි හැකියා සහිතව හා උසස් පුහුණුව ලත් සාමාජික පිරිස් සමඟ දේශයේ ආරක්ෂාව උදෙසා නිරතුරුව සූදානමින් සිටින බවද දුෂාන් විජේසිංහ මහතා පෙන්වා දෙයි.

More articles

Latest article