25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

අලුත උපන් බිලිඳාගේ කිරි දානයට මල් ගේන්න ගිය විද්‍යාඥයා අනතුරින් මරුට

Must read

තෙමස් වියැති කුලුඳුල් දරුවාගේ කිරිදානයට නෙලුම් මල් රැගෙන නිවෙස කරා සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණ විද්‍යාඥයකු ගෝනපල කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ ගෝනපල කුඹුක නැඟෙනහිර පදිංචි නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයකු වන විමුක්ති ප්‍රසාද් ජයවීර (37) නමැත්තෙකි.

අදාළ අනතුර සම්බන්ධයෙන් කොන්ත්‍රාත් සමාගමක වැඩ පරීක්ෂකවරයකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිදානමය පින්කමට අවශ්‍ය නෙලුම් මල් රැගෙන ඒම සඳහා බණ්ඩාරගම බොල්ගොඩ තුන් බෝධිය වෙත ගොස් මල් රැගෙන යළි නිවෙස කරා පැමිණීමේදී මේ අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගෝනපල කුඹුක ප්‍රදේශයේ භූගත අභ්‍යන්තර දුරකතන රැහැන් අඩංගු (මෑන් හෝල්) කුටීරයක් කොන්ත්‍රාත් සමාගම මඟින් ඉකුත් 3 වැනි දින නඩත්තු කටයුත්තක් සිදු කර එහි අවශේෂ කොටස් එම ස්ථානයෙන් ඉවත් නොකර මාර්ගය මැදම ගොඩ ගසා මාර්ගබාධක අනාරක්ෂිත ලෙස යොදා තිබීම මේ අනතුරට මූලික හේතුව බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි. මංතීරු දෙකක් සහිත හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ හොරණ දෙසට මැද දූපත අසල ගොඩ ගසා තිබූ අවශේෂ කොටස් අවට පමණක් අනාරක්ෂිත මාර්ග බාධක යොදා වීථි පහන් නැති අඳුරු ප්‍රදේශයක් වන එම ප්‍රදේශයේ එම මාර්ග බාධකයට මීටර කීපයක් ඈතින් ආලෝකයක් දැල්වීමට පියවර නොගැනීම හේතුවෙන් මේ මාරක අනතුර සිදුවීමට ආසන්නම හේතුව බව පොලිසිය කියයි.

මියගිය විද්‍යාඥයා පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය යකඩවලින් සමන්විත මාර්ග බාධකයේ ගැටී එයත් සමඟ මීටර් 14ක් ඉදිරියට ඇදී ගොස් අනතුරුව මෝටර් රථය පමණක් මීටර දෙසීයකට අධික දුරක් ඉදිරියට ධාවනය වී මැද දූපතේ ගැටී ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථය මාර්ග බාධකයේ ගැටීමත් සමඟ එහි වායු බැලුන් දෙක ක්‍රියාත්මක වී ඇති අතර ඒ සමඟ මෝටර් රථයේ අභ්‍යන්තරයේ යම් ලෝහමය කැබැල්ලක් මියගිය විද්‍යාඥයාගේ ගෙල ප්‍රදේශයේ අභ්‍යන්තරයට කාවැදී බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව මොරගහහේන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විමල් ආනන්ද මහතා පැවසීය. අනතුර සිදු වීමට විනාඩි කිහිපයට පෙර මියගිය විද්‍යාඥයා ඔහු සිටින ප්‍රදේශය දන්වා ඇමතුමක් දී ඇතැයිද නමුත් නිවෙසට පැමිණීමට ප්‍රමාද වූ බැවින් බිරිය විසින් පෙරලා දුරකතන ඇමතුමක් දී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වා තිබූ වෙනත් පුද්ගලයකු ඔහු අනතුරකට ලක්ව රෝහල්ගත කළ බවට පවසා තිබූ බවද බවද පොලිසිය කියයි.

හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විමල් ආනන්ද පොලිස් කොස්තාපල් (79101) බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

More articles

Latest article