33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යාපාරික ප්‍රජාවට ශක්තියක් වීම සඳහා Hatch, Draper Startup House සමඟ අත්වැල් බැඳ ගනී

Must read

ආරම්භක මට්ටමේ ව්‍යවසායකයින් වෙත සහයෝගය දක්වන, සම්මානලාභී ආරම්භක පරිසර පද්ධති නිර්මාපකයෙකු වන Hatch, ව්‍යවසායකයින් වෙත සම්පත් දායකත්වය ලබා දෙන ගෝලීය සේවා සම්පාදකයෙකු වන Draper Startup House සමඟ හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීම පසුගිය දා සිදු කෙරුණි. Hatch විසින් ක්‍රියාත්මක කරනු ලබන “Sri Lanka: Troubled Nation to Startup Nation” වැඩසටහනට සහය දැක්වීම මෙම හවුල්කාරිත්වයේ ප්‍රධානතම අරමුණයි. මෙරට අනාගත ව්‍යවසාය අවස්ථා පිළිබඳව පුළුල් අවබෝධයකින් යුතුව ක්‍රියා කරන මෙම ආයතන ද්විත්වය ම ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ පසු වන ව්‍යවසායකයින් ගෝලීය ආයෝජකයින් හා සම්පත් දායකයින් සමඟ සම්බන්ධ කරමින් ඒ හරහා උසස් තත්ත්වයෙන් යුතු ව්‍යවසායකයින් ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට මෙම නව සබඳතාව උපයෝගී කර ගැනීමට ද අරමුණු කරයි.

2018 මාර්තු මාසයේ දී සිංගප්පූරුවේ වික්‍රම් භාරතී විසින් ට්‍රයිබ් න්‍යායට අනුකූලව Draper Startup House ආරම්භ කෙරුණු අතර, එහි මූලික අරමුණ වූයේ ඩිජිටල් සේවා සපයන්නන් සඳහා පහසු මෙන් ම ඵලදායී ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමයි. 2019 දී, ට්‍රයිබ් න්‍යාය Draper සමඟ සම්බන්ධ වූ අතර, ඉන් පසුව එය Draper Startup House ලෙස නම් කෙරිණි. වර්තමානය වන විට ව්‍යවසායකයින්, ආරම්භක කණ්ඩායම්, දුරස්ථ සේවකයින් සහ විවිධ අරමුණු සහිත සංචාරකයින් සඳහා තාක්‍ෂණික ව්‍යාපාර ගොඩනැංවීමේ වැඩසටහන්, ව්‍යාපාරික සේවා, ඩ්‍රේපර් විශ්ව විද්‍යාලය සහ ඩ්‍රේපර් වෙන්චර් ජාලය සමඟ සම්බන්ධ කිරීම සිදු කරයි.

මෙම හවුල්කාරිත්වයේ කොටසක් ලෙස, ප්‍රමුඛතම ආයෝජකයෙකු වන ටිම් ඩ්‍රේපර් මහතා, රජයේ සහ දේශීය ආරම්භක ව්‍යවසායක ප්‍රජාව සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර, මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ අනාගත සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය උත්ප්‍රේරකයක් ලෙස ආරම්භක මට්ටමේ දේශීය ව්‍යවසායකයින්ට සහාය වීම කෙරෙහි අවධානය යොමු කරයි. ඊට අමතරව, Draper මගින් දියත් කරන රූපවාහිනී වැඩසටහනක් වන ‘Meet the Drapers’ හි වැඩසටහනක් මෙරට දී රූගත කිරීමට නියමිත අතර, එහි දී දේශීය ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අදහස් ඍජුව ම ටිම් ඩ්‍රේපර් මහතා වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙන් ම ලොව පුරා මිලියන 9 කට අධික ප්‍රේක්ෂක පිරිසක් වෙත එම පණිවුඩය ගෙන යාමේ අවස්ථාව ද ලබා දෙයි.

ඩ්‍රේපර් මහතා විසින් සෝනියා හයිද්රාමනී සහ මහේල ජයවර්ධන යන මහත්වරුන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත ය. From Troubled Nation to Startup Nation යන තේමාව යටතේ නාදන් සිවගනානදන් මහතා විසින් මෙහෙයවන විද්වත් කතිකාවතේ දී ද ටිම් ඩ්‍රේපර් මහතා ප්‍රේක්ෂකයින් ඇමතීමට නියමිත ය.

“ව්‍යවසායකයින් ආර්ථික සංවර්ධනයේ උත්ප්‍රේරකය බවට විශ්වාස කරන Hatch ඒ නිසා ම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛතම ආයෝජකයෙකු ශ්‍රී ලංකාව වෙත් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මේ හරහා ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර ගොඩනැංවීමට සහයෝගය ලබා දීම සඳහා උපදේශකයින්, ආයෝජකයින් සහ සමකාලීනයන්ගෙන් සමන්විත ගෝලීය ජාලයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවස්ථාව හිමි වන බව පැවසීමට පුළුවන්. ඒ වගේ ම මෙරට තරුණ ව්‍යවසායකයින්ට වර්ධනය වීම සඳහා Hatch හරහා ක්‍රමවේදයක් නිර්මාණය වීම ඉතා වැදගත්. ටිම් මහතාගේ මෙම සංචාරය සහ මෙම නව හවුල්කාරිත්වය ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවට දර්ශකයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් Hatch හි සම නිර්මාතෘ ජීවන් ඥානම් මහතා පැවසුවේය.

Hatch, ජාත්‍යන්තර වශයෙන් දක්නට ලැබෙන විවිධත්වය පිළිබිඹු කිරීම සඳහා නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන, තිරසාර මෙහෙවරක යෙදී සිටින ආයතනයකි. ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රධාන උත්ප්‍රේරකය ව්‍යවසායකයින් ය යන විශ්වාසය මත පදනම් ව කටයුතු කරන Hatch නවෝත්පාදනයන් සඳහා සහයෝගය ලබා දෙන අතර, පසුබිම කුමක් වුව ද ලෝකය වෙත අර්ථවත් බලපෑමක් ඇති කිරීමට සෑම කෙනෙකුට ම අවස්ථාව ලබා දිය යුතු ය යන අරමුණ පෙරදැරි ව එම සමාගම ක්‍රියාත්මක වේ. ප්‍රාග්ධනය, පුහුණු මෙවලම්, උපදේශනය, වෙළෙඳපොළ ප්‍රවේශය, වර්ග අඩි 60,000 ක සම්මානලාභී සම-වැඩ අවකාශයක් සහ සම්මිශ්‍රිත ප්‍රජා නිර්මාණ ආකෘතියක් හිමි Hatch, සිය වැඩසටහන් මගින් නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සහය දක්වයි. ආරම්භක ව්‍යාපාර 28 කට සහයෝගය ලබා දෙමින් ඇරඹුණු Hatch ආරම්භ වී වසර 4ක් තුළ ආරම්භක ව්‍යාපාර 500 කට අධික සංඛ්‍යාවකට සහාය ලබා දීමට කටයුතු කර ඇත. එම ව්‍යාපාර අතරින් 33% ක් කාන්තාවන් විසින් මෙහෙයවන හෝ කාන්තාවන් ඉලක්ක කරගත් ව්‍යාපාර වීම විශේෂිත ය.

ශ්‍රී ලංකාවේ අද්විතීය භූගෝලීය හා වාණිජමය ලක්ෂණ ආරම්භක ව්‍යවසායන් සඳහා ඉතා සුවිශේෂී සහයෝගයක් ලබා දෙන අතර, එමගින් සිය ගෝලීය පාර්ශවකරුවන් වෙත ප්‍රතිලාභ ලබා දීමට Hatch සමත් වී ඇත. ටිම් ඩ්‍රේපර් මහතාගේ සංචාරය අතරතුර දී ඔහු කොළඹ Hatch X Draper Startup House නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. එමෙන් ම මෙම නව මුලපිරීම හරහා, Hatch විසින් ශ්‍රී ලංකාව ඩිජිටල් ප්‍රවර්ධකයින් සඳහා සුදුසු ම දිවයිනක් බවට පත් කිරීම අරමුණු කරයි.

“ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ දී ආරම්භක ව්‍යාපාරවල වැදගත්කම ඉතා හොඳින් ම දැනෙනවා. එම නිසා ම ඔවුන්ට ගෝලීය අවස්ථා ලබා දෙමින්, දේශීය ආරම්භක ව්‍යවසායන් පෝෂණය කිරීමට Hatch නිරන්තරයෙන් කැප වෙනවා. එ වගේ ම දේශීය ආරම්භක ව්‍යසායකයින් වෙත නැඟී සිටීමට ශක්තියක් වීමට අප සතු හැකියාව ගැන අපට විශ්වාසයි. Draper Startup House සමඟ ගොඩනඟා ගත් මෙම හවුල්කාරිත්වය සහ ටිම් ඩ්‍රේපර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අපගේ ඉදිරි ගමනට ශක්තියක්.” යනුවෙන් Hatch හි සම නිර්මාතෘ නාදන් සිවගනානදන් මහතා ප්‍රකාශ කළේය.

More articles

Latest article