28 C
Colombo
ඉරිදා, මැයි 5, 2024

හංවැල්ල නගරයට අංග සම්පූර්ණ බස්රථ නැවතුම්පොළක් ඉදිකිරීමේ කටයුතු ඇරඹේ

Must read

දීර්ඝ කාලයක් තිස්සේ බස් රථ නැවතුම්පොළක් නොමැතිව තිබුණු හංවැල්ල නගරයට අංග සම්පූර්ණ බස් රථ නැවතුම්පොළක් ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වේ.

ඒ අනුව හංවැල්ල නගරයට අංග සම්පූර්ණ බස් රථ නැවතුම්පොළක් ලබාදීම සඳහා බලශක්ති අමාත්‍ය, සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති උදය ගම්මන්පිල සහ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මුල්ගල තබා වැඩ ආරම්භ කෙරිණ.

බස්නාහිර පළාත දැවැන්ත සංවර්ධනයකට ලක් කරමින් ක්‍රියාත්මක කෙරෙන අවිස්සාවේල්ල, පාදුක්ක සහ හංවැල්ල ප්‍රධාන නගර හා ඒ ආශ්‍රිත ව්‍යාපෘති යටතේ, “හංවැල්ල නව බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය 2021” නමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

සීතාවක ප්‍රාදේශීය සභාවට පවරන ලද, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින පර්චස් 111.4 ක භූමි භාගයක නව බස් රථ නැවතුම්පොළ ඉදිකෙරේ. මෙයට පෙර මෙම භූමිය නිල නොලත් තාවකාලික බස් රථ නැවතුම්පොළක් ලෙස භාවිතයට ගෙන තිබේ.

කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මාස 07 කින් නිමකිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 85 ක් වැය කෙරේ.

ඒ අනුව නව බස් රථගාලේ වරකට නවතා තැබිය හැකි බස් රථ ගණන 12 කි. ප්‍රවේශ පත්‍ර කවුළු, පොලිස් මුරපොළක්, කුලී පදනම මත ලබාදෙන වෙළඳ ස්ථාන 05 ක්, ස්ත්‍රී පුරුෂ සහ ආබාධිත පුරවැසියන් සඳහා පොදු වැසිකිළි 06 ක්, රියැදුරු විවේක කාමර යන පහසුකම්වලින් බස් නැව්තුම්පොළ සමන්විත වේ.

මෙම අවස්ථාවට එක් වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ජනතාවට සුන්දර කතා කියා දෙනවා වෙනුවට, තිබෙන ඇත්ත කියා දිය යුතු බවත්, එවිට ජනතාව ද ආණ්ඩුව සමඟ සිටින බවත්ය.

“අද අපි අර්බුදයකයි ඉන්නෙ. ඒක තමයි තිත්ත ඇත්ත. ඒක ආවේ 1977 ඉදන්. පිටරටින් අපිට දුන්නු ඩොලර් ආදායමට වඩා වැඩිපුර අපි පිටරටට ඩොලර් දුන්නා බඩු ගෙන්නලා. එතකොට එතන හිගය මකාගත්තෙ අපි ක්‍රම දෙකකට. එකක් පිටරට රැකියා කරලා ඒ අය එවන මුදල්වලින්. අනිත් එක රටට එන සංචාරකයින්ගෙ මුදල්වලින්. මේ කොරෝනාවක් ඇවිල්ලා ඒකත් නැති කළා. ඒකෙන් අපිට රුපියල් බිලියන 04 ක් විතර පාඩු වුණා. එතකොට පිටරට රැකියා කළ 80,000 ක් විතර රස්සා නැතුවයි දැන් ඉන්නේ.

ඉතිං, අපි ඒක කළමනාකරණය කළා. හරියට ගෙදර වියදම් පාලනය කරනවා වගේ. දැන් විපක්ෂය මේ කියන්නෙ ඒකත් වැරදියි කියලද? අපිට තෙල් මිල වැඩිකරන්න සිද්ධවුණේ පිටරටින් තෙල් ගෙන්නන්න ඩොලර් ටික හොයාගන්න අවශ්‍ය නිසයි. පහුගිය කාලයේ පෙට්‍රල් ලීටරයකින් අපිට රුපියල් 35 ක් පාඩුයි. ඩීසල් ලීටරයකින් අපිට රුපියල් 34 ක් පාඩුයි. එහෙම කරපු අපිට කියනවා තෙල් මිල ජනතාව මත පැටෙව්වා කියලා. අදටත් ලෝකයේ තෙල් මිල අඩු දෙවෙනි රට ලංකාව.

පළවෙනි රට පකිස්ථානය. මේකත් සිහිපත් කළ යුතුයි. තව සතියකින් මම ආණ්ඩුවෙ කුළුදුල් විස්වාසභංගයට මුහුණ දෙනවා. මේක දිට්ට ධම්ම වේදනීය කර්මයක් කියලයි මට හිතෙන්නෙ. පහුගිය ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග 05 න් 04 ක් ම හැදුවේ මම. ඒ හින්දා වෙන්නැති මටම මේක ගේන්නෙ. කොහොම වුණත් මට විශ්වාසභංගය ගේන්නේ හොරකම් කළා, වංචා කළා, අපචාර කළා, බලය අයුතු ලෙස භාවිතා කළා, මැරකම් කළා කියලා නෙවෙයි. තෙල් මිල වැඩි කළා කියලයි. තෙල් මිල වැඩි කිරීම ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්තිමය තීරණයක් මත සිදුවූවක්. එය රටට ප්‍රකාශ කිරීම තමයි මම සිද්ධ කළේ. මම කළේ ආණ්ඩුවක් විදිහට ගත්ත තීරණය රටට ප්‍රකාශ කිරීම පමණයි.”යනුවෙන් ද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේය.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ, නගර 100 ක් සංවර්ධනය කිරීම වර්තමාන රජයේ අලුත් ම දැක්ම බවත්, එමඟින් දැනට සිදුකරගෙන යන සංවර්ධන වැඩ කඩිනම් කිරීමක් වන බවයි.

“මේ අද අරඹන්නෙ එයින් එක් විශේෂ ව්‍යාපෘතියක්. ජනතාවට මේ ආණ්ඩුව ගැන විශේෂ බලාපොරොත්තුවක් තිබුණා. ඒ රට සංවර්ධනය කරා ගෙනයාවි කියන බලාපොරොත්තුව. ආණ්ඩුවේ ඒ වැඩ පිළිවෙළ තවමත් වෙනස් වුණේ නැහැ. දිගටම එහෙමම සිදු කරගෙන යනවා. ඒ අතරේ ලෝකයේ අර්බුදයක් ආවා. ඒ කොරෝනා වසංගතය. ඒක ලංකාවටත් ආවා. ඒක දියුණු, නොදියුණු කියලා වෙනස් වුණේ නැහැ. අපේ වියදම් වර්ග දෙකයි. එකක් වෙන්නෙ පරිභෝජන වියදම. අනිත් එක අනාගත ආයෝජන වියදම. මේ වගේ දුෂ්කර අවස්ථාවක් ආවහම අපි පළමුවෙන්ම පාලනය කරන්න අපේ පරිභෝජන වියදම. ඒ වාහන ගෙන්වීම, අනවශ්‍ය දේවල් ගෙන්වීම, සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම සීමා කිරීමෙන්. අමතර, අනවශ්‍ය වියදම් කපා හැරීමෙන් පරිභෝජනය සීමා කිරීමෙන්. ඒත්, දෙවෙනි වියදම වෙන අනාගත ආයෝජනය නතර කළොත් ඒකෙන් අපිට සිද්ධ වෙන්නෙ මොකද්ද? අපි අනාගතය අමතක කරලා දැමීම. එහෙම කළොත් අනාගතය අදුරුයි. අපි සිදු කරන ආයෝජන නතර කළොත් මුල සිට ආපසු පටන්ගන්න වෙනවා. ආණ්ඩුවක් විදියට අපි තීරණය කළා ආයෝජන නතර නොකිරීමට. මේ කොරෝනා අර්බුදය කියන්න හැමදාම තියෙන දෙයක් නෙවෙයි.

ලෝක ඉතිහාසයට මේවගේ වසංගත නිතරම වගේ ඇවිල්ලා තියෙනවා. සමහර වසංගතවලින් ලෝකයේ ජනතාව තුනෙන් එකක් විතර මියගියා. සමහර වසංගත අවුරුදු 08 ක් තිබුණා. හැබැයි, හැම වසංගතයක්ම අවසන් වෙනවා. සදාකාලික නෑ. ඒවා පාලනය වෙනකොට ලෝකය ඉස්සරහට යන්නට ඕන. අද විපක්ෂය නොයෙක් කතා කියමින් ඉන්නවා. හැබැයි අපි කරන එක සංවර්ධන වැඩක් ගැන කියන්නෙ නැහැ. අපි ගොඩක් සංවර්ධන ව්‍යාපෘති කළා. තවමත් කරමින් ඉන්නවා. අපි මේ වෙනකොට මහාමාර්ග කිලෝ මීටර් 100,000 ක් සංවර්ධනය කරනවා. ඒ ගැන කතා කරන්නේ නෑ. අපි වැව් 14,000 ක් සංවර්ධනය කරමින් ඉන්නවා. පාලම් 10,000 ක් සංවර්ධනය කරමින් ඉන්නවා. ජාතික පාසල් 1,000 ක් නිවාස 20,000 ක් මේ වන විට ඉදිකරමින් තිබෙනවා. බැලූ බැලූ අත සංවර්ධනය සිද්ධ වෙනවා. ඒවා ගැනත් කතා නැහැ. 2015 – 2019 කාලෙ විදුලිය සම්බන්ධයෙන් කිසිම සංවර්ධනයක් වුණේ නැහැ.

අපි විශාල විදුලි බල සංවර්ධනයන් ආරම්භ කළා. හැබැයි ඒවා ගැනත් කතා නැහැ. ඒ වගේම පානීය ජලය නැති ප්‍රදේශවල ජනතාවට ලබාදුන්නා පානීය ජලය. ඒවා ගැනත් කතා නැහැ. අපේ රජය එක තීන්දුවක් ගත්තා. මේ මොන ප්‍රශ්න ආවත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම නතර නොකිරීමට.” යනුවෙන්ද නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය එක්ව මෙහෙයවනු ලබයි.

මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය, සීතාවක ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති උදය ගම්මන්පිල, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහින්ද විතානආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ. එච්. දිල්හානි, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක රවීන්ද්‍ර ජයතිලක, හිටපු පළාත් සභා සභාපති මහේෂ් අල්මේදා ඇතුළු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් මෙම ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන් විසින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි.

More articles

Latest article