25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ලබන වසරේ අලි ඇතුන් සංගණනයක්

Must read

ලබන වසරේ අලි ඇතුන් සංගණනයක් සිදු කරන බව වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය සඳහා පසුගිය (15) වැනිදා පැවැති වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පළමු රැස්වීමේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ 2011 වසරේ.

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරනවා. එහි එක් පියවරක් ලෙස අලි ඇතුන් පිළිබඳ පූර්ණ සංගණනයක් සිදු කරන බවත් වරාය ඇමැතිවරයා කියා සිටියේය.

දිනෙන් දින බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම පිළිබඳව මන්ත්‍රීවරු විමසා සිටි අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අනුව අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුර, අම්පාර යන දිස්ත්‍රික්ක ඇතුළු විවිධ ප්‍රදේශවල ගම්මානවලට වනඅලි පැමිණීමෙන් සිදුවන බලපෑම් පිළිබඳව මන්ත්‍රීවරු රැසක් ඇමැතිවරයාගේ අවධානයට යොමු කළහ.

අලි ඇතුන්ගේ වාසස්ථාන අඩුවීම, අලි ගහනය සැලකිය යුතු ලෙස වැඩි වීම ඇතුළු හේතු ගණනාවක් අලි මිනිස් ගැටුමට හේතු වී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල අලි ඇතුන් ගමන් කරන ප්‍රධාන අලිමංකඩ 16 ක් මේ වන විට අවහිර වී ඇති බවත් මේ හේතුවෙන් ගම්වලට අලි ඇතුන්ගේ පැමිණීම වැඩි වී ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

මේ අනුව මෙම අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීවේය.

එසේම අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා කමිටුවක් පත් කර ඇති බවද එම කමිටු තීරණ අනුව දීර්ඝ කාලීන විසඳුම් සහිත වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවසීය.

More articles

Latest article