26.4 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

සියලුදෙනාම එක්ව කටයුතු කරන්නේ නම් අපේ රටට ඉදිරියට යා හැකියි – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

Must read

දේශපාලන වශයෙන් බෙදී වෙන් නොවී සියලු දෙනාම එක්ව කටයුතු කරන්නේ නම් අද අපේ රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට යා හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නාවලපිටිය ආසන සම්මේලනය අමතමින් ඊයේ (16) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම සම්මේලනය සංවිධාන කර තිබිණි.

රජය ගන්නා සෑම උත්සාහයකටම සහාය දෙන බව පැවසූ රාජපක්ෂ මහතා, රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට ගෙන දෙවනුව අනෙක් ප්‍රශ්න විසඳා ගත හැකි බව ද ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා – අදත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන්න නාවලපිටිය ජනතාව යුතුකම ඉටුකරමින් සිටින බව අපි දන්නවා. එදා දැකපු මූණු අදත් ඒ විදියටම දැක්කම ඒ සතුට තවත් වැඩි වුණා. මේ තමයි අපේ ශක්තිය. අප විතරක් නොවෙයි ලොකේ බොහෝ රටවල් අද ඔවුන්ගේ ආර්ථිකය ගැන වෙහෙසෙනවා. තිබුණු අභියෝග එකමුතුව ජය ගත්තා. සමහරු මේවා දන්නෙ නෑ. දැනගත්තත් කියන්නෙ නෑ. ඔවුන්ට අවශ්‍ය කාගේ හරි පිටින් තියා මේ ප්‍රශ්නයෙන් මඟහැ‍ෙරන්න විතරයි. ඉතිං ලේසියට අල්ල ගන්නේ අපවයි. ප්‍රශ්න අපේ පිට තිබ්බා කියා මේ ප්‍රශ්න අවසන් වෙන්නේ නෑ.

රට සාමකාමී වෙනවට සමහරු කැමති නෑ. ඔවුන්ට අවශ්‍ය හැමදාම නෑ, බෑ කියාගෙන ඉන්න විතරයි. අප මෙය වෙනස් කළ යුතුයි.

අපිටත් වැරදුණ තැන් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. හැබැයි අපට වැරදුණා කියා උඩ පැන්න කවුරුවත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරැද්දක් වුණාම ඒක නිවැරදි කරන්නත් අවස්ථාවක් තියෙනවා. අප ලජ්ජා වෙන්න ඕනෑ වැරදි වුණ තැනම ඉදිරියට නොයා නතර වී ඉන්නවා නම් විතරයි. අප වැටුණ තැනින් නැගිටලා දුවලා ජය ගන්න කොට ආයෙත් විසිල් ගහලා අපව පිළිගන්නෙ එදා අපට හිනා වුණු අයම බව අමතක කරන්න එපා.

එකමුතුව මේ ප්‍රශ්න විසඳා ගන්නවා නම් අපට අනාගතයක් නිර්මාණය වෙනවා. ඒ වෙනුවෙන් රජය ගන්න සෑම උත්සාහයකටම අප සහාය දෙනවා.

විශේෂයෙන් දරුවන්ගේ පෝෂණය ගැන අප සැළකිලිමත් වෙන්න ඕනෑ. ඔවුන් තමයි අපේ රටේ අනාගතය. ඒ වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් යොමු කරන්න අවශ්‍යයයි. ඒ වගේම ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කරන්න හැකි සෑම පියවරක්ම ගන්න කියන ඉල්ලීම අප දැනටමත් සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා – මැයි මාසයේ 9න් පසුව මාස පහක නිහැඬියාවකින් පසුව අපේ දේශපාලන යන්ත්‍රණය බලගැන්වූවා. අප සමඟ මිනිස්සු ඉන්නවා. ඔවුන් සමඟ අප කටයුතු කරන්න ඕනෑ. පොහොට්ටුවේ කිසිම කෙනෙක් අප හැර ගොස් නැහැ.

ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්. නාවලපිටියෙන් එක් කොට්ඨාසයක් හෝ දිනලා පෙන්වන්න. මා නැවත දේශපාලනය කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ තිබෙන පෞද්ගලික ප්‍රශ්න දෙස නොබලා රට වෙනුවෙන් තීන්දුවක් ගත්තා. මේ රට ගොඩනඟන්න ඒ මහතා ලොකු උත්සාහයක් ගන්නවා. අද වන විට භාණ්ඩ මිල යමිකිසි මට්ටමකින් පහත වැටී තිබෙනවා. මේ වසර අවසන් වනවිට ආර්ථිකය කළමනාකරණය කරන්න හැකි වෙයි කියා විශ්වාස කරනවා.

සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා – 2015 වසරින් පසුව අප ගත් තීන්දුවක් අනුව නව දේශපාලන වැඩපිළිවෙළකට මුල පුරන්න සිදු වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා වටා මේ රටේ සාමාන්‍ය ජනතාවත් එකතු වුණා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතා වැදගත්. ඒ වැඩපිළිවෙළේ අපිට අඩුපාඩුකම් සිදු වුණා. අපෙන් සිදු වූ අඩුපාඩුව පිළිගැනීම තුළ අපිට නැවත ගොඩ එන්න පුළුවන්.

කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා – අපේ රට මුහුණ දෙන ආහාර අර්බුදය දන්නවා. අද වන විට ජනගහනය කෝටි දෙක ඉක්මවා ගොස් තිබෙනවා. 1952 වසරේදී අප චීනය සමඟ රබර්, සහල් ගිවිසුමකට පැමිණියා. එදා සිරිමාවෝ මැතිනියගේ සමයේත් මෙවැනිම ආහාර අර්බුදයක් ආවා. රටේ ජනතාව විශාල වශයෙන් ගැටලුවලට මුහුණ දුන්නා. බලයට පැමිණෙන කිසිම රජයක් ජනතාව ගැටලුවලට මුහුණ දෙනවා දකින්න කැමැති නෑ.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා – පොදු දේපොළ විනාශ කරන්න පුළුවන් නම් ඒ පිරිස් රටට, ජාතියට ආදරය කරන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ රටට, ජාතියට ආදරය කරන පක්ෂයක්. අප රනිල් වික්‍රමසිංහ මහතාට බලය දී තිබෙනවා. ඕනෑම කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. නමුත් චෝදනා ඔප්පු කළ යුතුයි.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා – මේ රටට සාමය ගෙනත් දෙන්න මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා. නමුත් ඒක ටික කලකින් අපේ මිනිසුන්ට අමතක වුණා. අපට විරුද්ධව ලක්ෂ 55ක් ඡන්දය ලබා දුන්නා. අද නාවලපිටිය ජනතාව අපේ හයිය පෙන්වා තිබෙනවා.

හිටපු ඇමැති, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා – දේශපාපාලන පක්ෂයක් ලෙස ඉතා කෙටි කලකින් අපේ පක්ෂය ජනතාව අතර ඉදිරියටම පැමිණියා. අපේ ජනතාව හේතුවෙන් අපේ පක්ෂයට විවිධ ජයග්‍රහණ අත්පත් කර ගන්න හැකියාව ලැබුණා. ගම ශක්තිමත් කරන වැඩපිළිවෙළ මහින්ද රාජපක්ෂ මහතා ඇති කළා. අපේ රටේ ග්‍රාමීය ආර්ථිකය ඇති කළා. මාර්ග ඇති කළා. විදුලිය සියයට 100ක් ලබා දෙන්න පියවර ගත්තා. 1986 වසරේ තමයි පළමු අධිවේගී මාර්ගයට මුල්ගල් තිබ්බේ. දරුවන්ට තාක්ෂණය හඳුන්වා දෙන්න මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර හඳුන්වා දුන්නා. මේ වටා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වුණා.

අපට හොරා හොරා කියපු කට්ටිය කොළඹ ඉන්න අක්කා කෙනෙකුට සල්ලි දීලා. ඒ ලැයිස්තුව බැලුවාම අප හැර හැමෝම ඉන්නවා.

ගමට ගහන්න නම් මහින්ද රාජපක්ෂට ගහන්න ඕනෑ කියා ඇතැමුන් කියනවා. අප ස්ථාවර රටක් ගොඩනඟන්න පියවර ගන්නවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා – වෙනත් රටවල සිට අපේ පක්ෂයට මඩ ගසනවා. අපේ පක්ෂයට එරෙහිව යන කාරණා සම්බන්ධයෙන් අප කලබල විය යුතු නැහැ.

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා – රාජපක්ෂවරුන්ට යළි රට බාර දෙන්නේ ඇයි කියා ඇතැමුන් අහනවා. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් මඩ ප්‍රහාර ගෙනයනවා. අපි ජනතාව සමඟ ශක්තිමත්ව සිටින විට ඔවුන්ට ඉවසන්න බැහැ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ දශක පහකට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ජ්‍යේෂ්ඨයන් වෙනුවෙන් උපහාර පිරිනැමීමක් ද මෙහිදී සිදු විය.

රාජ්‍ය ඇමැතිවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, තේනුක විදානගමගේ, සිරිපාල ගම්ලත්, කනක හේරත්, පියල් නිශාන්ත, දිළුම් අමුණුගම, ජානක වක්කුඹුර, සනත් නිශාන්ත, රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජිකා වික්‍රමසිංහ, සංජීව එදිරිමාන්න, කෝකිලා ගුණවර්ධන, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, ලලිත් මංජු, සුදත් මංජුල, චින්තක මායාදුන්න, සුදර්ශන දෙනිපිටිය, අජිත් රාජපක්ෂ, මිලාන් ජයතිලක, අකිල එල්ලාවල සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article