31.5 C
Colombo
සිකුරාදා, මැයි 3, 2024

ලියාපදිංචි නොකළ ජංගම දුරකතන පාර්සල් බෙදන්නන් හරහා ගෙන්වන ජාවාරමට තිත – අමාත්‍ය මනුෂ නානායක්කාර

Must read

රජයේ බදු ආදායම අහිමි කරමින්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ලියාපදිංචි නොකළ ජංගම දුරකතන පාර්සල් බෙදාහරින්නන් හරහා ගෙන්වන ජාවාරමට තිත තැබීමට ඇමැති මනුෂ නානායක්කාර මහතා මැදිහත් වෙයි.

පාර්සල් බෙදාහරින්නන් හරහා සංවිධානාත්මක ලෙස, ලියාපදිංචියක් නැතිව ජංගම දුරකතන මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව ඇමැති මනුෂ නානායක්කාර මහතාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු අදාළ ගැටලු මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මනුෂ නානායක්කාර ඇමැතිවරයා පියවර ගත්තේය.

මේ කරුණු හෙළිදරව් කර ඇත්තේ ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා සමඟ ඊයේ (27) පැවැත් වූ සාකච්ඡාවකදීය. එහිදී ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතු බවත් ජංගම දුරකථන ආනයනකරුවන්‌ගේ සංගමය පවසා තිබේ.

2021 වසරේ දී මෙලෙස ජංගම දුරකතන ආනයනය කිරීම නිසා අමෙරිකානු ඩොලර් මිලියන 220ක මුදලක් නීති විරෝධී ලෙස උණ්ඩියල් ක්‍රමය හරහා රටින් පිටව ගොස් ඇති බවත්, එමඟින් රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් බිලියන 7.8ක් වෙතැයි තක්සේරු කරන බවත්, ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව ඇමැතිවරයා හමුවේ පවසා තිබේ.

මේ ආකාරයට ලියාපදිංචියක් නැතිව ජංගම දුරකතන ආයනයනය කිරීම ජාතික ආරක්ෂාවට ද බලපාන බවත්, මේ ජංගම දුරකතන සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබාගැනීමට හැකියාවක් නැති බවත් ආනයනයකරුවන් ඇමැතිවරයාට පෙන්වා දී තිබේ.

රටේ බදු ආදායමටත්, ජාතික ආරක්ෂාවටත් බලපාන, නීති විරෝධී ආකාරයට ජංගම දුරකතන ආනයනය කිරීම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉදිරිපත් වූ ඉල්ලීම් පිළිබඳ ද අවධානය යොමු කර මුදල් රාජ්‍ය ඇමැතිවරයාත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් සම්බන්ධ කර ගනිමින් ඉදිරි පියවර ගැනීමට කටයුතු කළ බවත් ඇමැති මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

More articles

Latest article