25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

කිරුළ නොදිනූ ලොවක් දිනූ අප්‍රිකාවේ කළු කෙල්ල

Must read

විශ්ව රූ රැජන තරගය ඊශ්‍රායලයේදී නිමා වූයේ ඉන්දියාවේ හර්නාස් සන්දුට කිරුළ හිමිකර දෙමිනි. කවුරුත් හර්නාස් ගැන සොයන්නට උනන්දු වූවත් අනුශූරිය වූ දකුණු අප්‍රිකාවේ ලලේලා මස්වානි ගැන සොයා බලන්නට කිසිවකු සිටියේ නැත. 24 හැවිරිදි මේ උස හීන්දෑරි කළු කෙල්ල එදා ඊශ්‍රායලයේදී සිය මව්බිම වර්ණවත් කිරීමට තනි අතින් ගෙන ගිය සටන ගැන දන්නේ අත­‍ෙළාස්සක් පමණි. එබැවින් රූ රැජනන් 79ක් අතුරින් දෙවැනි අනුශූරිය දක්වා පැමිණි ගමන් මඟ ඇයටත්, පොදුවේ දකුණු අප්‍රිකාවටත් විශාල ජයග්‍රහණයකි.

පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන ජන සංහාරය නිසා ඊශ්‍රායලයට නොයන ලෙස ලලේලාට දකුණු අප්‍රිකා රජය බලපෑම් කරන්න වූයේ මාස කිහිපයක සිටය. ඊශ්‍රායලයට කොහෙත්ම හිතවත්කම් නොපෑමට පලස්තීනයට හිතැති දකුණු අප්‍රිකාව දේශපාලන ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබිණි. එය කාලයක් තිස්සේ දකුණු අප්‍රිකාව හා ඊශ්‍රායලය දෙපාර්ශ්වය අතර පැවැති විරසකය තව දුරටත් ඉස්මතු කිරීමකි. එවැනි පසුබිමකදී ඊශ්‍රායලයේ පැවත්වෙන විශ්ව රෑ රැජන තරගයට ලලේලා සහභාගි වීම දකුණු අප්‍රිකා රජයට ද්‍රෝහි වීමක් ලෙසත් ඇතැමුන් හැඳින්වූහ දකුණු අප්‍රිකානු රජය, දේශපාලකයන්, සිවිල් සමාජ ක්‍රියාකරුවන් සියලු දෙනාම රෑ රැජන තරගය වර්ජනය කරන ඇයට බල කරන්නට වූවත් අවසානයේදී ලලේලා ක්‍රියාත්මක කළේ ඇගේ තනි තීරණයයි.

“බය පැත්තකට දාලා මම විශ්වාසය තෝරාගත්තා.” විශ්ව රෑ රැජන තරගය දක්වා ගිය දුෂ්කර ගමන ගැන ලලේලා එදා තරගයෙන් පසුව ඊශ්‍රායලයේ මාධ්‍ය අමතා එසේ කියා සිටියේ අමිහිරි මතකය අවදි කරමිනි.

විශ්ව රෑ රැජන තරගය වර්ජනය කරන ලෙස පණිවිඩ පිට පණිවිඩ එමින් තිබූ මොහොතක පමණක් නොව මරණ තර්ජන පවා එල්ලවෙමින් තිබූ මොහොතක ඊශ්‍රායලයට ගිය ලලේලා අවසානයේදී සිය මව්බිමට කීර්තියක් ගෙන දුන්නාය.

“ඒත් මම කළේ හරි කියලා මට හිතුණු දේ. සිදුවීම් සුන්දර වෙන්නේ ඔබව මැඬ පැවැත්වීමේ හා බිඳ දැමීමේ අදහසින් එල්ල කරන බාධක කිසිදාක නොසිතූ ආකාරයෙන් ඔබව ශක්තිමත් කරන විටයි. මුළු රටම මට පිටුපාද්දී, මට විරුද්ධ වෙද්දී, මාව විවේචනය කරද්දී ඒ බය පැත්තකට දාලා විශ්වාසය තෝරාගන්න මම තීරණය කළා.” ලලේලා එසේ කියන්නීය.

විශ්ව රූ රැජන තරගයට ලලේලා ඊශ්‍රායලයට යෑම ඇයට පමණක් නොව ඇගේ පවුලේ සාමාජිකයන්ටත් මරණ තර්ජන එල්ලවීමට හේතු විය. ඇය ඊශ්‍රායලයේදී තරගයට එක්වෙද්දී දකුණු අප්‍රිකාවේ ඊශ්‍රායල විරෝධී රජය මෙන්ම ජනතාවත්, සමාජ මාධ්‍ය හරහා ලලේලා දැඩි විවේචනයට ලක් කරමින් සිටියේය.

එහෙත් ලලේලා මේ කිසිවක් ගණන් ගත්තේ නැත. ඇගේ මුළු අවධානයම යොමු වී තිබුණේ රූ රැජන තරගය වෙතය. ඇය සෙසු රෑ රැජනන් අතර ගැවසෙමින්, කතාබහ කරමින් නිරතුරුවම සතුට රඳවා ගැනීමට වෑයම් කළාය. මානසික පසුබැස්ම, ඇයට එරෙහිව සමාජ මාධ්‍යජාලා ඔස්සේ වපුරන නින්දා අපහාස, ගැරහුම් ගණනකට ගත්තේම නැත. ඒ වෙනුවට නිතරම ඇය උත්සාහ කළේ දුක් වේදනා මැදින් තනි අතින් ජීවිතය ජය ගත් ලොව පුරා ආදර්ශමත් මිනිසුන් ගැන ලියැවුණු තොරතුරු කියැවීමටය. ජීවිත අලුතින් ආරම්භ කළ දිරිය මිනිසුන් ගැන ලියැවුණු ජීවිත කතා කියවන්නටය. ඒවා ලලේලාගේ ජිවිතයට අලුත් ජවයක් එකතු කළා පමණක් නොව පුදුමාකාර අභිප්‍රේරණයක් බවටත් පත් විය.

දකුණු අප්‍රිකාවේ රිචඩ්ස් බේ නගරයේ උපන් අඩි පහකුත්, අඟල් 9ක් උසැති මේ දිගැටි මුහුණක් සහිත ප්‍රසන්නශීලි යුවතිය බැලේ නර්තන ශිල්පිනියකි. මෝස්තර නිරූපිකාවකි. මිහිරි හඬක් ඇති ගායිකාවකි. එපමණක් නොව නීති උපාධිධාරිනියකි. එබැවින් ඇගේ බුද්ධියේ වපසරියට අභියෝග කිරීමට හෝ බලපෑම් කිරීමට කිසිදු බලවේගයකට හැකියාවක් නැති බව ඇයම දැන සිටියාය.

දකුණු අප්‍රිකාවේ ජාතික භාෂාව වන ‘සුලූ’ඇගේ මව් භාෂාව වූවත්, ප්‍රංස සහ ඉංග්‍රීසි බස ව්‍යක්තව හසුරුවීමට සමත් ලලේලා විවිධ දුක් ගැහැටවලට මුහුණදී ඉන් පන්නරය ලබා සිටියේ කුඩා වියේ සිටමය. පාසල් කාලයේ ඇය නිතර නිතර සෙසු දරුවන්ගේ අපහාසයට ලක්වුණු දැරියක වූවාය. ඉතා සිහින් සිරුරත්, සෙසු දරුවන්ට වඩා උසින් වැඩි වීමත් නිසා ඇයට පාසලේදී විහිළු තහළුවලට ලක්වුණු අවස්ථා එමටය. ඒ සියල්ල ඇය සතුටින් හා උපේක්ෂාවෙන් විඳ දරා ගත්තාය. එබැවින් විශ්ව රෑ රැජන තරගයේදී සිය මව්බිමේ ආශිර්වාදය නොලැබීම ලලේලාට නම් ඒ හැටි ගණන් ගත යුතු කාරණාවක් නොවීය.

අනිත් අතට දකුණු අප්‍රිකාවේ දේශපාලන ව්‍යාකූලත්වය ගැන ඇය දැන සිටියේ කුඩා වියේ සිටමය. ඇගේ පියා මුන්ටු මස්වානි එරට රාජතාන්ත්‍රිකයෙකි. හිටපු ඇමැතිවරයෙකි. ඔහු ස්වාසිලන්තයේ දකුණු අප්‍රිකානු තානාපතිවරයා ලෙස ද සේවය කළේය පසුකාලීනව ඔහුගේ වියෝව ඇය විඳ දරා ගත්තේ ඉතා අසීරුවෙනි. ලලේලාගේ මව ගිණුම් ලිපිකාරිනියක් ලෙස රැකියාව කළාය. පවුල් පසුබිම නිසාම ඇය කුඩා වියේ සිටම ජීවිතය ගැන ඉතා පුළුල් අවබෝධයක් සහිත දැරියක් වූවාය.

“මම ඊශ්‍රායලයට ඇවිත් විශ්ව රූ රැජන තරගයට තරග නොකළා නම් මම හිතන්නේ ඒක මගේ මුළු ජීවිත කාලය පුරාම දුක්වෙන්න කාරණයක් වෙන්න තිබුණා. මගේ ආත්මයට එය වධයක් වෙන්න තිබුණා. බොහෝ අය මාව බිමට ඇද දමන්න දැඩි උත්සාහයක් ගත්තා. ඒක විඳ දරා ගන්න ගොඩක් අසීරු වුණා. ඒත් මම සර්වශුභවාදී විදිහටයි හැමදේම දැක්කේ.” යනුවෙන් ඇය තරගයෙන් පසුව ‘ජෙරුසලම් පෝස්ට්’සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී එසේ කීවාය. ඇය අපට කියා දෙන්නේ ජීවිතය දිනා ගැනීමට සමේ පැහැය සත පහකට වැඩක් නැති බවය. ජාතිය, ආගම තුට්ටුවකටවත් ගණන් ගත යුතු දේවල් නොවන බවය.

තරගයෙන් පසු විවෘත ලිපියක් ලියමින් දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා, සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමැති නාතින් ටේට්වා මෙසේ කීවේය.

“මටත්, දකුණු අප්‍රිකානු රජයටත් ලලේලාගෙන් සමාව ඉල්ලන්න තවමත් ප්‍රමාද නෑ.

(ෆවුස් මොහොමඩ්)

More articles

Latest article