25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මාලදිවයින් ජනපතිට අක්තපත්‍ර පිළිගන්වයි

Must read

මාලදිවයින සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.එම්.ජේ. සාදික් මහතා, මාලේහි පිහිටි ජනාධිපති කාර්යාලයේදී මාලදිවයින් ජනරජයේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උණුසුම් සුබපැතුම් ජනාධිපති සෝලි මහතා වෙත පිරිනැමූ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා දෙරට අතර පවත්නා සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා සිය ධුර කාලය තුළ ශක්තිමත් සහ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති කැමැත්ත පළ කළේය. විශේෂයෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, මෙන්ම ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා විසින් පෙන්වා දී ඇත.

මීට උණුසුම් ප්‍රතිචාර දැක්වූ ජනාධිපති සෝලි මහතා මාලදිවයින තුළ සාර්ථක ධුර කාලයක් ගත කිරීම සඳහා මහ කොමසාරිස්වරයා වෙත සුබපැතුම් එක් කළේය. පසුගියදා (04) පැවති ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සෝලි මහතා ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව වෙත සිය සුබපැතුම් පිරිනමා තිබූ අතර දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වමින්, 2021 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාව තුළ තමන් සිදු කළ සාර්ථක සංචාරය පිළිබඳ සුවිශේෂී මතකයන් ද සිහිපත් කර තිබේ.

අක්තපත්‍ර පිළිගැන්වූ මහ කොමසාරිස් සාදික් මහතා, ඉන් අනතුරුව මාලදිවයිනේ විදේශ කටයුතු ඇමැති අබ්දුල්ලා ෂාහිඩ් මහතා හමු විය. අභිනව මහ කොමසාරිස්වරයා වෙත සුබපැතුම් පළ කළ විදේශ ඇමැතිවරයා, මාලදිවයින තුළ සාර්ථක ධුර කාලයක් ගත කිරීම සඳහා ඒ මහතාට සුබ පැතීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ සභාපතිවරයා ලෙස තමන් පත්කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දුන් සහයෝගය වෙනුවෙන් ද ඒ මහතා සිය ස්තුතිය පළ කළේය. ජනාධිපති සෝලි මහතාගේ අදහස් පිළිබිඹු කළ විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවත්නා උණුසුම් සහ මිත්‍රශීලි සබඳතා නවමු තලයකට ගෙන යෑම සඳහා දෙරටටම එකම පවුලක් ලෙස සමීපව කටයුතු කළ හැකි බවද සඳහන් කළේය.

එදිනම, මාලදිවයිනේ විදේශ ලේකම් අබ්දුල් ගෆූර් මොහොමඩ් මහතා හමු වූ මහ කොමසාරිස් සාදික් මහතා විශේෂයෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය අරබයා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සම්බන්ධ කර ගනිමින් ආර්ථික සහයෝගිතාව අරමුණු කරගත් ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කළේය. ද්විත්ව බදු පැනවීම වැළැක්වීම, ආයෝජන ප්‍රවර්ධනය, අන්‍යෝන්‍ය ආරක්‍ෂාව හා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රේගු කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය දීම සම්බන්ධයෙන් පවත්නා ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් නිමා කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ද ඔවුහු සිය එකඟත්ව පළ කළහ.

More articles

Latest article