31.3 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව නඩු 109ක්

Must read

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත්කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (09) අවසර ලබා දුන්නේය.

පාස්කු ඉරුදින එල්ලකළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාලලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනාවලින් මුදාහරින ලෙස ඉල්ලා ඔහු එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් ෆ්‍රෑන්ක් ගුණවර්ධන සහ මහේන් වීරමන් යන සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට අවසරදුන් විනිසුරු මඬුල්ල මෙම අභියාචනා විවාදය ජුලි මස 15 වනදා පවත්වන බවත් නියෝග කර තිබුණි.

පෙත්සම ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙනමෙන් එම සිද්ධියෙන් මියගිය අයගේ ඥාතීන් හා තුවාල ලැබුවන් විසින් තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු එකසිය නවයක් ගොනු කර ඇති බවය.

එම නඩු පවත්වාගෙන යෑමට නොහැකි බවත් එම චෝදනාවලින් තමන්ව මුදාහරින ලෙසත් ඉල්ලමින් තම නීතිඥවරු කොළඹ දිසා අධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකළ ද එම මූලික විරෝධතා ඉකුත් ජනවාරි මස 7 වනදා දිසා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවද හිටපු ජනාධිපති සිරිසේන මහතා පෙන්වා දෙයි.

දිසා අධිකරණය දුන් එම තීරණය නීතියට පටහැනි බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණි.

එබැවින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අදාළ නඩුවලින් මුදාහරින ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම අභියාචනා පෙත්සම සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

More articles

Latest article