28 C
Colombo
බදාදා, මැයි 8, 2024

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අදයි

Must read

සකල ලෝ වැසියන්ට ආශීර්වාදයක්

අෂ්-ෂෙයික්, මුෆ්ති, එම්.අයි.එම්. රිස්වි සභාපති සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් එවනු ලැබු අවසාන වක්තෘ නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විශේෂ පණිවිඩයක් නිකුත් කරයි.

එහි මෙසේ දැක්වේ

අරාබි ලිත අනුව රබීඋනිල් අව්වල් මාසය ඉස්ලාමීය ඉතිහාසයේ මානව සංහතියට අතිශය වැදගත්කමක් ඇති මාසයකි. මන්දයත් මිනිස් සමාජයට ඍජූ ජීවන මඟක් පෙන්වීම සඳහා ලොවට ආශිර්වාදයක් ලෙසින් සර්වබලධාරී අල්ලාහ් විසින් එවන ලද අවසාන වක්තෘ නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණෝ ඉපදුනේ මේ මාසයේ බැවිනි.

රබීඋන් යන අරාබි වචනයේ අරුත වසන්තය යන්නයි. වසන්ත ඍතුව මිහිතලයට හරිත හා සශ්‍රීක බව, අලංකාරය ගෙන දෙයි. එසේම, රබීඋනිල් අව්වල් මාසයෙහි සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් එවනු ලැබු අවසාන වක්තෘ නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණෝ ඉපිද මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පුර්ණ ජීවන ක්‍රමයක් දායාද කළහ.

“සමස්ත ලෝවාසීන්ට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹව (නබිවරයෙකු වශයෙන්) නොඑව්වෙමු.” (අල්-කුර්ආන්, 21:107)

සර්වබලධාරී අල්ලාහ්, අවසාන වක්තෘ නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්ව සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් වශයෙන් යැව්වේය. එතුමාණෝ සකල ලෝවාසීන්ටම ආදරය, කරුණාව, දයානුකම්පාව හා මෘදුභාවය පෙන්වන්නකු විය. එතුමන්ගේ කරුණාව වැඩිහිටියන්, ළමයින්, පිරිමින්, කාන්තාවන්, මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන සියලු දෙනා කෙරෙහි දක්නට ලැබුණි. තවද එතුමන්ගේ දයාව මිනිසුන්ට පමණක් නොව සියලු ජීවීන් කෙරෙහි ද ආවරණය විය. මේ පිළිබඳ සර්වබලධාරී අල්ලාහ්ගේ දූත වක්තෘ නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතය තුළ සාක්ෂි බොහෝමයක් පිරී ඇත.

නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් කෙරෙහි අපරිමිත ආදරයෙන්, සෙනෙහසින් හා හැඟීම්බරව සිහිකරන්නා වූ මේ උතුම් දිනයේ මනුෂ්‍යත්වය, ප්‍රේමය, මානව දයාව, සානුකම්පාව, පරාර්ථකාමය හා සංහිඳියාව වැනි එතුමන් කියා දුන් ගුණ ධර්මයන් අනුව ජීවත් වීමට අදිටන් කර ගනිමු. මේ සමයේ ආගමික හා සෞඛ්‍ය මඟපෙන්වීම්වලට අනුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සිහිගන්වමින් එතුමන්ගේ මහිමය ජනතාව අතරට ගෙන යෑමට කටයුතු කරන සියලු දෙනාහට සර්වබලධාරි අල්ලාහ් උසස් කුසල් ප්‍රදානය කරත්වා!

කොවිඩ් වසංගතය හේතුවෙන් අපගේ දේශයේ බොහෝමයක් ජනයා ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මේ උතුම් දිනයේදී අවශ්‍යතා ඇත්තා වූ ජනයාහට ජාති ආගම් භේදයකින් තොරව අතහිත දෙමින් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. තවද, භයානක වූ මේ කොරෝනා වසංගතය අප දේශයෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම ඉක්මණින් තුරන් වී සැමට සමෘද්ධිමත් ජීවිතයක් උදා වීමට ප්‍රාර්ථනාවන්හි නිරත වන මෙන් ද සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.

අපගේ මාතෘ භූමියෙහි සාමය, ශාන්තිය, ජනකොටස් අතර සුහදත්වය හා ආර්ථික අභිවෘද්ධිය ඇති විය යුතු යැයි මේ විශේෂ දිනයෙහි අපි සර්වබලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.

More articles

Latest article