28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

උතුරු හා නැඟෙනහිර විහාර රැකුමට හමුදා කඳවුරු දිගටම ඕනෑ – මහනාහිමිවරු ජනපතිට ලියති

Must read

උතුරු හා නැඟෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යෑම සුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජනපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිව් නම ස්වකීය අත්සනින් යුතුව මේ ලිපිය නිකුත් කර ඇත.

උතුරු නැඟෙනහිර පළාත්වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල පිහිටි සුවිශේෂ ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන් තත් අවශ්‍යතාවට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයේ යෙදවීම යෝග්‍ය බවද උන් වහන්සේ මේ ලිපිය මඟින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිව්නම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ලිපියේ මෙසේද සඳහන් වෙයි:

“අප රට පෙරපර දෙදිග සම්භාවනාවට පාත්‍රව ඇත්තේ ථෙරවාදි බෞද්ධ දර්ශනයේ කෝෂ්ටාගාරය ලෙසයි. සහස්‍ර දෙකකට අධික ලක්දිව සාඩම්බර ඉතිහාසයේ ශ්‍රී විභූතිය ලොවට ප්‍රකාශ කරන ජීවමාන සාධක වනුයේ දිවයින පුරා පිහිටි ඓතිහාසික බෞද්ධ වෙහෙර විහාරස්ථන බව නොරහසකි. අද වන විට දේශයේ ආධ්‍යාත්මික ශික්ෂණය උදෙසා මෙන්ම ආර්ථික දියුණුව උදෙසාද දිවයින පුරා පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථාන මඟින් ලැබෙන පිටුබලය ඉමහත්ය. එහෙයින් එකී වෙහෙර විහාරස්ථානයන්හි සුරක්ෂාව මෙන්ම පැවැත්ම තහවුරු කිරීම රජයේ වගකීම බව සිහිපත් කර සිටිනු කැමැත්තෙමු. “දශක තුනකට අධික කාලයක් පැවති බිහිසුණු යුද වාතාවරණයේදී දැඩි කැප වීමෙන් උතුරු හා නැඟෙනහිර පළාත් තුළ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කරගනිමින් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට සම්බුද්ධ දර්ශනයේ සංස්පර්ශය දීමට ඒ පළාත්වාසි භික්ෂූන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුුතු කරන්නට යෙදුණහ. තත් කාර්යයේලා සහයෝගය දෙමින් විහාරස්ථානවල කටයුතු කරන භික්ෂූන් වහන්සේට අවශ්‍යය ප්‍රත්‍ය පහසුකම්ද සපයමින් එදා සිට අද දක්වාම උතුරු නැඟෙනහිර පළාත්වල පිහිටි ඓතිහාසික සිද්ධස්ථාන ආරක්ෂා කරගැනීම හා නඩත්තු කටයුුතු සඳහා ආරක්ෂක අංශ විසින් සුවිසල් මෙහෙයක් ඉටු කරනු ලබයි.

“වර්තාමානය වන විටත් උතුරු නැඟෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව බෞද්ධ ගම්මාන පිහිටා නැත. ඉතා සීමිත දායක පිරිසක් ඇතැම් විහාරස්ථාන ආශ්‍රයේ කටයුතු කළද විහාරස්ථාන නඩත්තු කර පෝෂණය කිරීමට තරම් වත්පොහොසත් කම් නැති එවැනි බොහෝ පිරිසකට උපකාර සලසනුයේ මේ ප්‍රදේශයේ වැඩවාසය කරන මහා සංඝරත්නය විසිනි.

“එසේම පසුගිය කාලවකවානු තුළ දිවයිනේ අනෙක් පළාත්වලද සුවිශේෂ ඓතිහාසික වැදගත්කමකින් යුතු විහාරස්ථානයන්හි ආරක්ෂාව හා සංවර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවන්ගෙන් සුවිශේෂ දායකත්වයක් සපයා දෙන ලදි. එකී සිද්ධස්ථාන කෙරෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීම එම සංවර්ධන කාර්යයන් අඩාළ කිරීමට හේතු වනු ඇත. එහෙයින් උතුරු නැඟෙනහිර පළාත්වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වලද පිහිටි සුවිශේෂ ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන් තත් අවශ්‍යතාවට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයේ යෙදවීම යෝග්‍යය.“

More articles

Latest article