25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය

Must read

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය එක්ව සංවිධානය කරන ලද නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2021 දෙසැම්බර් මස 23 වන දින සන්ධ්‍යාවේදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී විචිත්‍රවත් අයුරින් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය අමුත්තන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය ආරම්භ කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ සංකල්පයකට අනුව නාවික හමුදාධිපතිගේ මඟපෙන්වීම යටතේ අසිරිමත් නත්තල් උළෙලට සමගාමීව සංවිධානය කරන ලද මෙම කැරොල් ගී ප්‍රසංගය සඳහා නත්තල් ගීත ගායනා ඉදිරිපත් කිරීම නාවික හමුදා පුද්ගලයින් සහ ජනප්‍රිය ගායක ගායිකාවන් විසින් සිදු කෙරුණු අතර, නාවික හමුදා පවුල්වල දූ දරුවන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් මෙහිදී කැරොල් ගීතිකා ගායනා කරන ලදී. තවද මෙම කැරොල් ගී ප්‍රසංගය නාවික හමුදා වාද්‍ය වෘන්දයේ සහ නර්ථන කණ්ඩායමේ විචිත්‍රවත් ගායන සහ නර්තන අංගයන්ගෙන් වර්ණවත් විය.

පවත්නා සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට අනුකූලව අසිරිමත් නත්තල් උදාව වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙම කැරොල් ගී ප්‍රසංගය සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) ජගත් අල්විස් හා එම මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හා එම මැතිණිය, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හා එම මැතිණිය, විශ්‍රාමික නාවික හමුදාධිපතිවරුන් ඇතුළු විශ්‍රාමික නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරල් වයිඑන් ජයරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධාන හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ඇතුළු විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්, ධජ නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

More articles

Latest article