28 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

රජයේ වියදම් තවදුරටත් සීමා කිරීමට ජනපතිගෙන් උපදෙස්

Must read

දැනට රජයේ ආදායම 2023 ජනවාරි මාසය සඳහා වන මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතු බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ (31) දැනුම් දුන්නේය.

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධනය, ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇති බවද ජනාධිපතිවරයා එමඟින් පෙන්වා දී ඇත.

එබැවින් මේ වන විටත් ක්‍රියාත්මක බදු සංශෝධන මඟින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ සඳහා ප්‍රමුඛතා නිර්ණායකයන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කරන බවත් එතෙක් සුළු වියදම් සඳහා වෙන් කෙරෙන මුදල් නිදහස් කිරීම සීමා කෙරෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වැළකිය යුතු අතර, එය කඩ කරන ඕනෑම නිලධාරියකු එම වියදම් සඳහා පුද්ගලිකව වගකිව යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ජනවාරි මාසයේදී රජයට රුපියල් බිලියන 158.7ක ආදායමක් හිමි වුවද, වියදම වශයෙන් බිලියන 367.8ක් සිදු කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් කැබිනට් මණ්ඩලයට සිදු කළ බවත් ඒ මහතා කීවේය.

වර්තමානයේ තව දුරටත් විදෙස් ණය ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් මුදල් අච්චු ගැසීමට ඉඩ නොදෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. වියදම් කළමනාකරණය කිරීම සඳහා සෑම අමාත්‍යාංශයකම ලේකම්වරු බැඳී සිටින බවත් එහෙත් එළඹෙන මාර්තු අප්‍රේල් මාසය වන විට රජයේ බදු ආදායම ඉහළ යනු ඇති හෙයින් එතෙක් මෙම තත්ත්වය කළමනාකරණය කර ගත යුතුව ඇති බවත් ගුණවර්ධන මහතා පැවසීය.

එහිදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“මේ වියදම් කළමනාකරණය කර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නා. සෑම අමාත්‍යාංශයකම ලේකම්වරු එම වගකීමකට බැඳිලා තිබෙනවා. වියදම් හැකිතාක් දුරට පාලනය කර ගන්න ලේකම්වරු ගිවිසුම් අස්සන් කරලා තිබෙනවා. ඒ හැර සුබවාදී තත්ත්වයක් තිබෙනවා නම් එය පැහැදිලි කරන්න පුළුවන්. බදු ඉහළ නංවලා තිබෙනවා. අනාගතයේදී ආදායම් වැඩි වේවි. වෙනත් බදු නොවන ආදායම් මාර්ග එකතු කරලා තිබෙනවා. පළමු කාර්තුව අවසන් වන විට රජයේ ආදායම වැඩි වේවි කියලා හිතනවා.

මුදල් ලේකම්වරයා රටේ ජනතාවට වගකීමට බැඳෙන වියදම් ගැන දක්වලා තිබෙන්නේ. ඉතා අමාරු රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් තිබෙන්නේ. සමහරු තර්ක කරනවා එහෙම නම් මීට පෙර ආණ්ඩු වැටුප් ගෙව්වේ කොහොමද කියලා. මීට පෙර පැවති රජයන් වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා අනෙකුත් සුබසාධන වියදම් දරලා තිබෙන්නේ ප්‍රමාණවත් ආදායමක් නැතුව. දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්, සල්ලි අච්චු ගැසීමෙන් සෑම රජයක්ම වියදම් දරලා තිබෙනවා. අපිට ගත්ත ණය ගෙවා ගන්න බැරි බව ප්‍රකාශ කර තිබෙන නිසා වර්තමානයේ තව දුරටත් විදේශ ණය ලබා ගන්න බැහැ. මුදල් අච්චු ගැසීම වළක්වලා තිබෙනවා. අප සමඟ අන්තර්ජාතික වශයෙන් ගිවිසුම්වලට එළැඹෙන්න අදහස් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සල්ලි අච්චු ගහන්න ඉඩ දෙන්නේ නැහැ. තව දුරටත් සල්ලි අච්චු ගැසුවොත් මේ තිබෙන ප්‍රමාණයවත් කරන්න බැහැ. මේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් නැහැ.”

More articles

Latest article