29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ආහාර අර්බුදය හමුවේ කිසිවකු බඩගින්නේ තබන්නේ නැහැ – අගමැති

Must read

ආහාර අර්බුදය හමුවේ කිසිවකු බඩගින්නේ නොතබන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි කාලයේදී මෙරට ජනගහනයෙන් ලක්ෂ 40ත් 50ත් අතර පිරිසකට මෙම ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බව කී අගමැතිවරයා ඒහිදී විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මේ ආහාර අර්බුදයට අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත්, එයට අැමැති නිමල් සිරිපාල , ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයන් ඊට එක් කරන ලෙසත් අගමැතිවරයා උපදෙස් දුන්නේය. ඒම කමිටුව සකස් කළ සැලසුම සති 02 ක් තුළ තමාට අවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කෙළේය.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යෑමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, පෞද්ගලික අංශයටත් බෙදා භාර දිය යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය . මේ සඳහා උපාධිධාරී පත්වීම් ලැබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින උපාධිධාරීන් ද එක් කර ගැනීමට යෝජනා විය.

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන, ගෑස් සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන දීමට ප්‍රමුඛත්වය දෙන ලෙස අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආහාර සුරක්ෂිතතාව යන කාරණයේදී විශේෂයෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයින් සිටින නිවාස සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද අවධාරණය කෙරිණි.

එමෙන්ම, කලාපීය වශයෙන් තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය වන නූතන කෘෂි ක්‍රමවේදයක් සඳහා මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලස්මක අවශ්‍යතාවය අවධාරණය කළ අගමැතිවරයා එය කඩිනමින් සකස් කළ යුතු බව පැවසීය.

මේ සාකච්ඡාව සඳහා මහින්ද අමරවීර, නලීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග යන අැමැතිවරුන් සමඟ හිටපු අැමැති සාගල රත්නායක, තිස්ස අත්තනායක, පාඨලී චම්පික, මනෝ ගනේෂන්, දිගම්බරන්, රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නවීන් දිසානායක, සමන් රත්නප්‍රිය යන හිටපු මන්ත්‍රීවරුන් සහ සෙන්දිල් තොන්ඩමන් මහතා සහ නිලධාරී කණ්ඩායමක් සහභාගි වූහ.

More articles

Latest article