28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

මෙවර උසස් පෙළ විභාගය අවුල් කිරීමට කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ – අගමැති

Must read

දරුවන් ලක්ෂ ගණනක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් උසස් පෙළ විභාගය අවුල් කිරීමට කිසිවකුට ඉඩ නොතියන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අලුත් ගමක්, අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ (10) පැවති සාකච්ඡාවේ දී අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය.

ඒ අපරාධයට හවුල් වෙන්නත් එපා. නැවතී තිබුණු ආර්ථිකය දැන් මේ වෙනකොට වැඩ කරනවා. වෙනදාට වැඩිය ආර්ථික යන්ත්‍රය සහ සේවා යන්ත්‍රය වැඩ කරන කොට ඔබට එන වගකීම ඔබතුමන්ලා මත පැවරෙන අලුත් අභියෝග ජයගැනීම සඳහා ඕනෑකම වැඩියි.

පාසල් දහදහස් එකසියයක් ලංකාවේ තියෙනවා. එයින් භාගයකට වැඩිය පාසල්වලට අක්කරයකට වැඩි වගේම, අක්කර 10ක් 12ක් තිබෙන භූමි භාගයන් තිබෙනවා. ඒවා හරියාකාරව කෙටිකාලීන භෝග වගාවට පත් කර තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ වාර්තාවල කිසි තැනක සඳහන් වෙන්නේ නැහැ.

නමුත් ඵලදායිතාවයට පත් කිරීම සඳහා සෑම බිම් අඟලක්ම පරිවර්තනය කර ගැනීමට උපදෙස් දීම සහ මඟ පෙන්වීම හා එහි අඩුපාඩුව කුමක්ද කියලා සොයා බැලීම අපගේ වගකීමක්. අපි සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා වෙන්නේ නැහැ.

නොබෝ දිනකින් අපේ උසස් පෙළ විභාගය තිබෙනවා. කිසිම විභාගයක් ප්‍රාදේශීයව අවහිර නොවී පවත්වාගෙන යෑම පිළිබඳව දිසාපතිවරුන් අවදියෙන් සිටිය යුතුයි. ඔබතුමාලට අයිති නැහැ විභාග කොමසාරිස්ටයි අයිති කියලා ඉන්න බැහැ. විභාග කොමසාරිස් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා හෝ ඒ පිළිබඳ කටයුතු කරන්න. විභාගය අවුල් කරන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. ගුරුවරු දහස් ගණනක් එහි සේවාවට අනුයුක්ත කර තිබෙනවා. විභාග තියෙන්නෙ මේ මාසේ සිට එන මාසේ තුන්වැනි සතිය දක්වා. ඔබේ දරුවෝත් ඉන්න පුළුවන්. ජනතාවගේ දරුවෝ ලක්ෂ ගණනක් මේ විභාගයට පෙනී සිටිනවා. මේ වාරය කඩාකප්පල් වුණොත් තව අවුරුද්දකට විශ්වවිද්‍යාලයට යන්න බැහැ. ඒ අපරාධයට හවුල් වෙන්න එපා. ප්‍රශ්නයක් තියේ නම් අපිට වාර්තා කරන්න. අපේ දරුවන් වෙනුවෙන් මේ විභාගය තියෙන්නෙ දැනටමත් ප්‍රමාද වෙලා. ඒ අයගේ ඉල්ලීම නිසයි ප්‍රමාද කළේ.

අපේ ආණ්ඩුව ගුරුවරුන්ගේ වැටුප් වර්ධක අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදීලා තියෙනවා. උහුලන්නට බැරි බරක් වුණත් අවුරුදු ගණනාවකට පස්සේ අපි එය ලබා දුන්නා. අපි අධ්‍යාපන සේවයට අවශ්‍ය මූලික ඉල්ලීම් ඉෂ්ට කරලා නැහැ කියලා ඒ කිසිම කෙනෙක්ට කියන්න බැහැ.

ඒ වගේම රජයේ සේවයේ විශ්‍රාම යාමෙන් හිස්වන පුරප්පාඩු පුරවලා අවුල් නොවී ගෙන යෑමට අතිරික්තයක් සිටිනවා. පසුගිය කාලයේ රාජ්‍ය සේවයට අපි 56000ක් බඳවා ගත්තා. ඒ කාලයේ රාජ්‍ය පරිපාලනය අන්තර් ගත කිරීමේ කමිටුවේ සභාපති සිටියේ මම.

ගුරු සේවයට විසිහතර දහසක් මෙන්ම සංවර්ධන කටයුතු සහ අනිකුත් රාජ්‍ය සේවයට අනෙක් සියලු දෙනා අනියුක්ත කරලා තියෙනවා. තවත් අතිරික්තයක් ඉන්නවා දිස්ත්‍රික් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. ඒ අය ඵලදායීතාවයට පත් කරන්න ඕනේ.

පෞද්ගලික මහා කර්මාන්ත කුඩා කර්මාන්තවල අය ඉන්නවා. දිසාපති කාර්යාලවලට මේ අය ගෙන්නගෙන මේ මහා කර්තව්‍යට අපට උදව් වෙන්න කියලා කියන්න. අපේ විවිධ ක්ෂේත්‍රයන් සහ සුබ සාධක වැඩපිළිවෙළට උදව් ගන්න. වෙනස් වෙමින් තිබෙන කාලපරිච්ඡේදයක මා යළිත් කියන්නේ ඔබතුමාලගේ වාර්තාවල කිසි තැනක හිඩැසක් තියෙන්න බැහැ.

රාජ්‍ය ඇමැතිවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, ෂෙහාන් සේමසිංහ, සිසිර ජයකොඩි, අගමැති ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික් ලේකම්වරුන් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

More articles

Latest article