32 C
Colombo
බදාදා, මැයි 8, 2024

පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම මගේ සිලබස් එකේ නැහැ – රන්ජන් රාමනායක

Must read

තමන් වෙනස් වී, බිය වී හෝ නොමැති බවත් පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම තමන්ගේ සිලබස් එකේ නොමැති බවත් ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොළඹ දී අද (26) ප්‍රකාශ කළේ ය.

කොන්දේසි සහිත සමාවක් හිමිවූ තමන්ට පරණ පුරුදු විදිහට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන බවත් රාමනායක මහතා සඳහන් කළේය.

නිදහසේ කථා කළ තමන්ට ඒ නිදහස අහිමි වුවත් හැකි උපරිමයෙන් වංචාවට දූෂණයට එරෙහිව තමන් ගෙන ගිය හඬ ගෙන යන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඉදිරි කාලය තුළ කලා කටයුතු වෙනුවෙන් වැඩි නැඹුරුවක් සිදුකරන බවත් රාමනායක මහතා එහිදී සඳහන් කළේය.

තමන්ට ලබාදුන් නිදහස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු සියලු දෙනාටම ස්තුතිය පුද කරන බවත් ඔහු එහිදී පැවසීය.

එමෙන්ම කොරෝනා වසංගතය වැළඳී බන්ධනාගාර ගතව ඉතා අසීරු සමයේ දී සිට තමන් වෙනුවෙන් කැපවී ක්‍රියා කළ දේශපාලඥයන් කලාකරුවන් ඇතුළු සියලු දෙනාට ස්තූතිය පළකරන බවත් රාමනායක මහතා පැවසීය.

තමන්ට ජනතාවගෙන් විශාල ආදරයක් හිමිව ඇති බවත් කිසිදු අවස්ථාවක වරදාන වරප්‍රසාද වෙනුවෙන් ජනතාව ලබාදුන් එම ආදරය අහිමි කර ගන්නේ නැතැයිද රාමනායක මහතා තවදුරටත් කීවේය.

More articles

Latest article