25 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

එරොෆ්ලොට් ගුවන්යානා සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීම අප රට ලත් ජයග්‍රහණයක් – රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි

Must read

රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් යානාවක් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කර ගැනීමට හැකි වීම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය පැවසුවාය.

මේ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් ඒ සඳහා මැදිහත් වූ මැති ඇමැතිවරුන්, නීතිපතිවරයා ඇතුළු නිලධාරීන්, ගුවන් තොටුපොළ බලධාරීන් ඇතුළු සියලු දෙනාට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය වශයෙන් තම ගෞරවය පිරිනමන බව පැවසූ ඒ මහත්මිය එම ගැටලුව කඩිනමින් විසඳා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බව ද සඳහන් කළාය.

සෑම අතින්ම රුසියාව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් රටක් බව පෙන්වා දුන් ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය රුසියාවට අයත් ගුවන්යානයක් ශ්‍රී ලංකාවෙන් පිටව යෑම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද වාරණ නියෝගය සම්බන්ධයෙන් තමා පසුගියදා (03) දැනගත් බව ද ඒ සම්බන්ධයෙන් තමාට රුසියානු රජය මඟින් දැනුම් දුන් බව ද පෙන්වා දුන්නාය.

ඒ අනුව අදාළ ගැටලුව නිරාකරණය කිරීම වෙනුවෙන් යම්කිසි කාලයක් දෙන ලෙස තමා රුසියා රජයෙන් ඉල්ලීමක් කළ බව සිහිපත් කළ තානාපතිනිය ඒ වෙනුවෙන් රුසියා රජය කාලය දුන් බව ද අවසානයේ පෙරේදා (06) වන විට මේ ගැටලුව විසඳා ගැනීමට හැකියාව ලැබුණු බව ද ප්‍රකාශ කළාය.

රුසියාවේ මොස්කව් නගරයේ සිටිය ද සෑම අවස්ථාවකම තම මාතෘභූමිය වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය රට වෙනුවෙන් තමාට කළ හැකි උපරිම සේවය ඉටු කරන බව ද ඉදිරියටත් ශ්‍රී ලංකා – රුසියා මිතුදම ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද පවසා සිටියාය.

More articles

Latest article