29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ක්‍රීඩා ආර්ථිකයට ශක්තියක් වන T10 ක්‍රිකට් ශ්‍රී ලංකාවේ

Must read

රට තුල ගොඩනැඟීමට අපේක්ෂා කරන ක්‍රීඩා ආර්ථිකයට ශක්තියක් වන ආකාරයෙන් මහා පරිමාණයෙන් ඩොලර් ගෙන ඒමට හැකි ලංකා T 10 ක්‍රිකට් තරගාවලිය දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් බව එහි සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි.

නැවුම් අත්දැකීමක් ලබා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතිය වන T 10 ක්‍රිකට් තරගාවලිය ලොව පුරා ජනප්‍රිය ටී ටෙන් ග්ලෝබල් ස්පෝට්ර්ස් ආයතනය සමග අත්වැල් බැඳ සංවිධානය කෙරේ. ඩුබායි හී පිහිටි ටී ටෙන් ග්ලෝබල් ස්පෝට්ර්ස් ආයතනය මෙයට පෙර සංවිධානය කළ අබුඩාබි T 10 ක්‍රිකට් තරගාවලිය සාර්ථක වූ හෙයින් එම අත්දැකීම් උපයෝගී කොට ලංකා T 10 ක්‍රිකට් තරගාවලිය දැවැන්ත ආකර්ෂණයක් ඇති තරගාවලියක් බවට පත් කිරීම අපේක්ෂාව වේ.

මේ පිළීබද මාධ්‍ය හමුවක් පෙරේදා (20) කොළඹ දී පැවැත්වූ අතර එයට ටී ටෙන් ග්ලෝබල් ස්පෝට්ර්ස් ආයතනයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහභාගී වූහ.

ලංකා T10 ක්‍රිකට් තරගාවලියට පිරිමි කණ්ඩායම් 6ක් හා කාන්තා කණ්ඩායම් 4ක් එක්වන අතර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6ක් හා දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 10ක් ඇතුළත් වේ. ලංකා T10 කාන්තා ක්‍රිකට් තරගාවලියට ද ඒ හා සමාන මට්ටමින් ක්‍රීඩිකාවන් සම්බන්ධ වේ. දින 12ක් පුරා පැවැත්වෙන ලංකා T 10 ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට හා මහනුවර ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

“ වේගවත්ම හා උණුසුම් ක්‍රිකට් තරග ආකෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳ සතුටට පත් වෙනවා. අපේ වාර්ෂික දින දර්ශනයට ලංකා T10 ක්‍රිකට් තරගාවලිය එක් කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් පියවරකින් ඉදිරියට ගොස් එල්පීඑල් තරගාවලිය මෙන්ම රටට වැදගත් වන වාණිජ වටිනාකමක් ඇති තරගාවලියක් පැවැත්වීමට හැකියාව ලැබෙනවා. රටේ ආර්ථිකයට යහපත් වන ආකාරයෙන් මහා පරිමාණයෙන් ඩොලර් ගෙන ඒමට මෙයින් අපට හැකියාව ලැබෙනවා“ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කළේය.

අතිසාර්ථක ලංකා T 10 තරඟාවලියක් පැවැත්වීම සඳහා දැනටමත් මූලික කටයුතු අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

More articles

Latest article