32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

ටෙහෙරානයේ පැවති 18 වැනි “The World of Tea” ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙයි

Must read

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ සම්බන්ධ වූ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 ඔක්තෝම්බර් 24 සිට 26 වැනි දින දක්වා ටෙහෙරානයේ පාර්සියන් එස්ටෙග්ලාල් හෝටල් පරිශ්‍රයේ “ද වර්ල්ඩ් ඔෆ් ටී” (The World of Tea) නමින් පැවති 18 වැනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී විය. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, ඉරානය, ඉන්දියාව සහ කෙන්යාව යන රටවල තේ අපනයන සහ නිෂ්පාදන සමාගම් 50කට අධික ප්‍රමාණයක් සිය තේ නිෂ්පාදන මෙහිදී විදහා දැක්වූ අතර, තේ ගැනුම්කරුවන් දහස් ගණනක් ද ඊට සහභාගී වූහ. වාර්ෂිකව ටෙහෙරානයේ පැවැත්වෙන වර්ල්ඩ් ඔෆ් ටී සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය ඉරානයේ සහ බටහිර ආසියානු කලාපයේ ප්‍රධාන තේ වෙළඳ ප්‍රදර්ශනයකි. මෙම අවස්ථාව, විදේශීය අපනයනකරුවන්ට ආනයනකරුවන්, සිල්ලර වෙළෙන්දන්, බෙදාහරින්නන් සහ අනෙකුත් ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීම සඳහා ඵලදායී වන වේදිකාවක් ලෙස පොදුවේ සැලකේ.ප්‍රදර්ශනයට සහභාගී වූ නරඹන්නන් අතර ආකර්ෂණය දිනාගත් කුටියක් වූයේ ලංකා තේ ප්‍රදර්ශන කුටිය යි.

ලංකා තේ ප්‍රදර්ශන කුටිය, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපොන්සු මැතිතුමා, ඉරාන වාණිජ, කර්මාන්ත, පතල් සහ කෘෂිකර්ම මණ්ඩලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සභාපති ආචාර්ය අලිරේසා යවාරි මහතා, Samley Tea හි කළමනාකාර අධ්‍යක්ෂ කවිත් බාලගේ මහතා, Pankeh Tea හි අධ්‍යක්ෂ සාරා ශරියාටි සරාවි මහත්මිය සහ අනෙකුත් ව්‍යාපාරික නියෝජිතයන් විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. විවිධ වර්ගවලින් යුත් ලංකා තේ වර්ග මාලාවක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, ලංකා තේ වෙළඳපොළ පවත්වාගැනීම සහ ඉරානය තුළ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම හා සබැඳි සැලසුම් සහ නව ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

සමාරම්භක උත්සවය අතරතුර සිය අදහස් පළ කළ ඉරාන තේ සංගමයේ ප්‍රධානී හමීඩ්රේසා මොවසාගි මහතා, 18 වැනි තේ සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී වූ සියලුම දෙනා පිළිගත් අතර ඉස්ලාමීය ඉරාන ජනරජයේ තේ වෙළඳපොළ සහ තේ කර්මාන්තය නංවාලීම සඳහා සියලු දෙනා සමඟ එක්ව සාමූහිකව සම්බන්ධ වීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළේ ය. තවද, ඉරාන තේ වෙළෙඳපොළ සමඟ ව්‍යාපාර සඳහා සම්බන්ධ වන සියලුම තේ අපනයනකරුවන් සහ ආනයනකරුවන් තේ වෙළෙඳපොළෙ හි ප්‍රගතිය, බාධා සහ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිතිපතා රැස්වීම් පැවැත්විය යුතු බවද අවධාරණය කළේ ය. කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චංගීස් ජහන්ගිරි මහතා ද මෙහිදී සිය අදහස් පළ කළේ ය.

2022 වසරේ පැවති තේ උත්සවයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවට කරන ලද ආරාධනය පිළිබඳව තේ සංගමයේ ප්‍රධානී මොවසාගි මහතා වෙත සිය ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා තානාපති විශ්වනාත් අපොන්සු මැතිතුමා, ඉස්ලාමීය ඉරාන ජනරජයට වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ හොඳම තත්ත්වයෙන් යුත් තේ සැපයීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණ වන බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අවධාරණය කළ ශ්‍රී ලංකා තානාපතිවරයා, ලංකා තේ වැඩි වශයෙන් ආනයනය කරන ලෙස ඉරානයේ සියලුම තේ වෙළෙඳ හවුල්කරුවන් වෙත විවෘත සහ මිත්‍රශීලී ඉල්ලීමක් යොමු කළේ ය.

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු හමු වූ තානාපති විශ්වනාත් අපෝන්සු මැතිතුමා, මෙම ප්‍රදර්ශනය නියෝජනය කළ ශ්‍රී ලාංකික තේ අපනයනකරුවන් සඳහා වැදගත් වන ව්‍යාපාරික අවස්ථා කිහිපයක් සඳහා පහසුකම් සැලසී ය. කෙන්යාවේ තානාපති ජොෂුවා අයි. ගටිමු මැතිතුමා, කෙන්යාවේ තේ මණ්ඩලයේ සභාපති ජොහෝ මිතාමෝ වසසුනා මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී, තේවල ප්‍රමිතිය සහ ඉරානයේ තේ ප්‍රවර්ධනය ඇතුළුව දැනට පවතින ගැටළු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම සහ තේ නිෂ්පාදනය කරන සියලුම රටවලට සිය වෙළඳපොළ සුරක්ෂිතභාවය ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා තේ ප්‍රදර්ශන කුටියට පැමිණි පිරිස, නුවරඑළිය, උඩ පුස්සැල්ලාව, දිඹුල, ඌව, මහනුවර, රුහුණ සහ සබරගමුව යන ප්‍රදේශවලින් නෙළා ගත් තේවලින් සැකසූ ලංකා තේ රස වර්ග හත, ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග කිහිපයක් සමඟ රසවින්ද හ. තවද, ශ්‍රී ලංකා තේ ප්‍රදර්ශන කුටියට පැමිණි සියලුම අමුත්තන්ට ලංකා තේ පැකට්ටු ද පිරිනමන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

More articles

Latest article