29.2 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 30, 2024

දිළිඳු පවුල් ලක්ෂ 20කට මසකට හාල් කිලෝ 10ක් – ජනපති

Must read

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ (16) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මේ සඳහා අවශ්‍ය සහල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් ලබා ගැනීම සඳහා රජය වී මෙට්ට්‍රික් ටොන් 61,600ක් පමණ මිල දී ගැනීම අවශ්‍ය කෙරේ.

මේ සඳහා රුපියල් මිලියන 8,040ක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ.

මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිතය. ‍‍

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ දැනට පවතින ක්‍රමය භාවිත කරමින් හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් අතර සහල් බෙදා දීමට නියමිතය.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණය කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරනු ඇත..

වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 6,200ක්ද, වී වියළීම සඳහා රුපියල් මිලියන 290ක්ද, කෙටුම් කුලිය සඳහා රුපියල් මිලියන 590ක්ද, ඇසුරුම් පිරිවැය සඳහා රුපියල් මිලියන 200ක්ද, වී මෝල් හිමියන් සඳහා අමතර ගෙවීම් ලෙස රුපියල් මිලියන 160ක්ද, සහල් ප්‍රවාහන පිරිවැය ලෙස රුපියල් මිලියන 600ක්ද වශයෙන් රුපියල් මිලියන 8,040ක් මෙම වැඩපිළිවෙළ සඳහා අස්තමේන්තුගත කර තිබේ.

කෙසේ වුවද, වෙළෙඳපොළ වී මිලෙහි සිදු වන වෙනස්කම් මත වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වෙනස් විය හැකි අතර, අවශ්‍යතාවක් පැන නැඟුණහොත් මේ සඳහා රුපියල් මිලියන 10,000ක පමණ අය වැය ප්‍රතිපාදන භාවිත කරනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි දත්තවලට අනුව 2022/2023 මහ කන්නයේ වී වගා කරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 732,201ක් පමණ වෙයි. එමඟින් අපේක්ෂිත වී අස්වැන්න මෙ.ටො. මිලියන 3.3ක් වන අතර, මෙමඟින් නිපදවිය හැකි සහල් ප්‍රමාණය මෙ.ටො. මිලියන 2.2ක් පමණ වේ. මෙ.ටො. 210,000ක් පමණ වන රටේ මාසික සහල් අවශ්‍යතාව සැලකිල්ලට ගත් කල ඉදිරි මහ කන්නයේ දී වී අතිරික්තයක් ලැබිය හැකි බව නිරීක්ෂණය වේ.

More articles

Latest article